ලෝක කුසලාන කාලසටහන නැවත වෙනස් කරන ලෙස ඉල්ලීමක්!

ICC Cricket World Cup 2023

2637

ඉන්දියාවේ දී පැවැත්වීමට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන කාලසටහනේ තවත් වෙනස්කමක් සිදු කරන මෙන් BCCI සහ ICCය වෙත ඉල්ලීමක් ලැබී තිබෙනවා.

තරගාවලියේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තරග කිහිපයක දින වෙනස් කරන මෙන් BCCI සහ ICC දෙපාර්ශවයට ම මීට පෙර ඉල්ලීම් ලැබුණා. ඒ අනුව මීට දින 10කට පෙර කාලසටහනේ තරග 9ක දින වෙනස් කිරීමට ඔවුන් පියවර ගත්තා.

එම තරග අතරට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත තරගයක් මෙන්ම, විශාල අවධානයක් යොමු වී ඇති ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම ද ඇතුළත් වුනා.

එම දින වෙනස් කිරීම් වලින් අනතුරුව නැවතත් නිල තරග කාලසටහන යාවත්කාලීන කෙරුණු අතර, ඒ අනුව තවත් සතියකින් පමණ ලෝක කුසලානයට අදාළ ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇති බවත් වාර්තා වුනා.

එවන් වාතාවරණයක් යටතේ නැවතත් මෙම කාලසටහන වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් ලැබී තිබෙනවා.

හයිද්‍රාබාද් හි Rajiv Gandhi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙවර තරගාවලියේ තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

නෙදර්ලන්තය සහ පාකිස්තානය ඔක්තෝබර් 06 වැනිදා තරග වැදීමට නියමිත අතර, ඔක්තෝබර් 09 වැනිදා නෙදර්ලන්තය සහ නවසීලන්තයත්, ඊට පසු දින ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයත් මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතරින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය මීට පෙර ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට තිබූ ඉන්දු – පාකිස්තාන තරගය ඔක්තෝබර් 14 වැනි දිනට රැගෙන ඒම නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය 10 වැනිදාට රැගෙන ගියා.

මේ නිසා ඔක්තෝබර් 09 සහ 10 යන දින දෙකේ දී ම හයිද්‍රාබාද් හිදි තරග පැවැත්වීමට නියමිතයි. එක දිගට තරග දෙකක් පැවැත්වීමට සිදු වීමත් සමඟ මෙම තරගවලට ආරක්ෂාව සැලසීම පිළිබඳ ව හයිද්‍රාබාද් පොලිසිය විසින් සිය කනස්සල්ල පළ කර තිබෙනවා. එම නිසා මෙම තරග දෙක අතර පරතරය වැඩි කර දෙන මෙන් හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය (HCA) විසින් BCCI වෙතින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

මීට පෙර කාලසටහන සංශෝධනය කිරීමේ දී BCCI විසින් HCA වෙතින් කිසිදු අදහස් විමසීමක් සිදු කර නැහැ. නමුත් පාකිස්තාන කණ්ඩායම සහභාගී වන තරගයක් ද පැවැත්වීමට නියමිත නිසා එක දිගට තරග දෙකක් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමේ ගැටලුවක් ඇති බවයි හයිද්‍රාබාද් පොලිසිය විසින් පවසන්නේ.

නමුත් මේ සම්බන්ධයෙන් BCCI වෙතින් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<