වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

1451

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද සිල්වා ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ සීමිත පන්දුවාර පිටියට විශේෂ අවධානයක් ලබා දීමේ අරමුණින් වනිඳු මෙම තීරණය ගෙන ඇති බවයි.

ඔහුගේ සමුදීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන තිබෙන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ,

“අපි ඔහුගේ තීරණය පිළිගන්නා අතර ඔහු අපගේ සීමිත පන්දුවාර පිටියේ ඉදිරියට යන විට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් බව අපි විශ්වාස කරනවා.”

26 වැනි වියේ පසුවන හසරංග ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු නොවූ අතර ඔහු මේ දක්වා ටෙස්ට් තරග හතරක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරු Mickey Arthur සිටි කාලසීමාවේ (2020-21) ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ වනිඳු ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කරමින් කඩුලු 4ක් සහ ලකුණු 196ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහුගේ ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 171කට කඩුලු 4ක් දවා ගැනීම වන අතර හොඳම ඉනිම වන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් ලකුණු 59යි.

වර්තමානයේ සීමිත පන්දුවාර තරග සහ විස්සයි විස්ස ලීග් තරග ඉතා බහුල වීම නිසා ඉදිරි වසර කිහිපයේ ටෙස්ට් තරග සඳහා සහභාගී වීම සලකා බැලීම ද සිතිය නොහැකි දෙයක් වෙනවා.

ඔහු මේ දිනවල ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර නියෝජනය කරන B-Love Kandy කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහු වර්තමානයේ ශ්‍රී ලංකාව සතුව සිටින ප්‍රධානතම දඟපන්දු යවන්නා ද වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<