“පරදින එකත් සමහර වෙලාවට හොඳ දෙයක්” – Pandya

India Tour of West Indies 2023

3563
Venkatesh Prasad criticize india cricket captaincy

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (13) සමත් වුනා. 

දීර්ඝ තරග සංචාරයක් වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් වෙත ගිය ඉන්දීය කණ්ඩායම සිය ටෙස්ට් තරග මාලාව 1-0ක් ලෙසත්, එක්දින තරග මාලාව 2-1ක් ලෙසත් ජයග්‍රහණය කිරීමට සමත් වූ නමුත් විස්සයි විස්ස තරගාවලිය නම් බලාපොරොත්තු වූ තරම් සාර්ථක ලෙස නිම කිරීමට හැකියාව ලැබුණේ නැහැ. 

එමෙන්ම එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුනත්, එහි දී ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් ඉන්දියාවට එල්ල වුනා. 

නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී පවා අන්ත පරාජයන්වලට ලක් වෙමින් 2023 ලෝක කුසලානයට පවා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව නොලද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ඉන්දීය කණ්ඩායම මෙවැනි පරාජයකට මුහුණ දීම ඉන්දීය ක්‍රිකට් රසිකයින්ට නම් එතරම් සතුටුදායක කාරණයක් වී නැහැ. 

එමෙන්ම ඊයේ පැවැත්වුණු අවසන් විස්සයි විස්ස තරගය වන විට 2-2ක් මට්ටමේ තිබූ තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වීම සම්පූර්ණයෙන්ම ඉන්දීය කණ්ඩායමේ දුර්වලතා නිසා සිදු වූ බවයි බහුතර මතය වී ඇත්තේ. 

එම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මන්දගාමී තණතීරුවක පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය නායක Hardik Pandya විසින් ගත් තීරණය Hindustan Times වෙබ් අඩවිය මගින් දැඩි ලෙස ප්‍රශ්න කරනවා. 

මේ අතර ඉන්දීය නායකයා විසින් ද එම තරගයේ දී තමන් ඇතුළු ඉන්දීය පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට අපොහොසත් වීමේ වරද පිළිගෙන තිබුණා. 

“ඔබ බැලුවොත් පන්දුවාර 10න් පසු කාලසීමාව අපිට අහිමි වුනා. මම පිටියට පැමිණි මොහොතේ සිට මට අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න බැරි වුනා. මම මගේ වෙලාව ගත්තා, නමුත් අවසන් කරන්න බැරි වුනා.” 

ඊයේ තරගයේ ඉන්දීය ඉනිම අවසන් භාගය මන්දගාමී කළ Pandya විසින් පන්දු 18ක් තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි. 

නමුත් ක්‍රීඩා කළ සෑම තරගයකින් ම තමන්ට සහ කණ්ඩායමට ඉගෙන ගැනීමට දෑ ලැබෙන බවත් එම නිසා තරගාවලියක් පරාජය වීම ගැන වද නොවී තම ඉලක්ක වෙනුවෙන් කැපවීම වඩා වැදගත් බවයි Pandya විසින් තරගයෙන් අනතුරුව සඳහන් කළේ. 

“ඒක දිග ගමනක්, අපිට ඉදිරියේ දී එක්දින ලෝක කුසලානය තියෙනවා. සමහර වෙලාවට පරාජය වීමත් හොඳ දෙයක්. ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. 

සහ විශේෂයෙන්ම හැම ක්‍රීඩකයෙක් ම මතක් කරන්න ඕන. ඔවුන් හැමෝම විශේෂ චරිත පෙන්නුම් කළා. ජයග්‍රහණය කිරීම සහ පරාජය වීම කියන්නේ මේ ක්‍රියාවලියේ කොටසක්. අපි එයින් දෙයක් ඉගෙන ගත යුතුයි.” 

ඊයේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම විසින් ලකුණු 165ක් ලබා ගැනීමට සමත් වූ අතර කොදෙව්වන් විසින් එය ඉතා පහසුවෙන් හඹා යාමට සමත් වුනා. 

නමුත් මෙම තරගයේ දී මෙන්ම තරගාවලිය පුරාවට Pandya විසින් ගත් තීරණ සම්බන්ධයෙන් (පන්දු යවන්නන් මාරු කිරීම වැනි) ද විවේචන රැසක් එල්ල වී තිබෙනවා. එම අඩුපාඩු ඉන්දියාව ලද මෙම පරාජයට පාර කැපූ බවයි පිරිසකගේ අදහස වී ඇත්තේ. 

“ඒ තමයි මට ඒ මොහොතේ දැනෙන දේ. මම ගොඩක් සැලසුම් කරන්නේ නැහැ. මම යම් අවස්ථාවක් දැක්කොත්, මගේ හිත හරියි කියලා හිතන දේ (gut) මම අනුගමනය කරනවා.” 

නමුත් Pandya සිය තීරණ ගැනීම පිළිබඳ දරන්නේ එවන් මතයක්. 

Pandyaට පරාජය පාඩමක් වුනත්, බහුතර ඉන්දීය ක්‍රිකට් රසිකයින්ට එය එසේ නොවන බවයි මේ වන විට සමාජ මාධ්‍ය හැසිරීම දෙස හැරී බලන විට පෙනී යන්නේ. 

මේ අතරින් හිටපු ඉන්දීය පුහුණුකරුවෙකු සහ ක්‍රීඩකයෙකු වන Venkatesh Prasad විසින් සිය Twitter ගිණුම හරහා තැබූ Twitter සටහන් කිහිපයක් වෙත විශේෂ අවධානයක් ලැබී තිබෙනවා. 

“ඉන්දියාව කලක සිට ම අතිශය සාමාන්‍ය සීමිත පන්දුවාර කණ්ඩායමක් බවට පත් වෙලා. මාස කිහිපයකට පෙර T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වුනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ඔවුන් ව අවමානයට පත් කළා. 

ඒ වගේම අපි බංග්ලාදේශයට එක්දින තරගාවලියක් පරාජය වුනා. මෝඩ ප්‍රකාශ කරනවාට වඩා ඔවුන් ස්වයං විමර්ශනයක් සිදු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා.” 

Prasadගේ ප්‍රකාශය විස්සයි විස්ස ලෝක කුසලානය නොව එක්දින ලෝක කුසලානය ලෙස නිවැරදි විය යුතු බව තවත් Twitter පරිශීලකයකු විසින් මෙහි දී සඳහන් කර තිබුණා. ඒ වෙනුවෙන් පිළිතුරු දුන් Prasad විසින් සඳහන් කර තිබුණේ ඉන්දියාවේ මෙම දුර්වල වීම වේදනාවක් ගෙන දෙන බවයි. 

“පන්දුවාර 50 විතරක් නෙවෙයි, පසුගිය ඔක්තෝබර් – නොවැම්බර් වල විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නත් කොදෙව්වන් අසමත් වුනා. ඉන්දියාව දුර්වල ලෙස ක්‍රීඩා කරනවා දකින්න ලැබීම වේදනාවක්. 

ඒ කුසගින්න, ගින්දර අතුරුදහන් වෙලා ගිහින්. අපි දැන් ඉන්නේ මායාවක.” 

එමෙන්ම තවත් Twitter සටහනක් තබමින් මෙම පරාජයන් වෙනුවෙන් කණ්ඩායම් කළමනාකාරිත්වය සහ නායකයා වගකිවයුතු බවත් Prasad විසින් අවධාරණය කර තිබුණා. 

Prasad විසින් විශේෂයෙන්ම ඉන්දීය නායකයා ඉලක්ක කර ගනිමින් මෙම Twitter සටහන් තබා තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් Pandya හට එළඹෙන දින කිහිපයේ යම් විවේකයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වී තිබෙනවා. 

මෙම මස 18 වැනිදා ආරම්භ වීමට නියමිත අයර්ලන්ත – ඉන්දීය විස්සයි විස්ස තරගාවලියෙන් Pandya විවේක ගන්වා ඇති අතර, ඔහු වෙනුවට වේගපන්දු යවන Jasprit Bumrah හට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වී තිබෙනවා. 

කෙසේ නමුත් Pandya හට පිරිසක් විසින් චෝදනා එල්ල කළත්, ඔහු වෙනුවෙන් සහ ඔහුගේ අදහස් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර දක්වන සමාජ මාධ්‍ය පරිශීලක කොට්ඨාසයක් ද සිටින බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. 

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන අයර්ලන්ත තරග සංචාරය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<