Pandyaගේ පිත්ත සහ වචන කොදෙව්වන් අසරණ කරයි

India tour of West Indies 2023

1086
India tour of West Indies 2023

ඊයේ (01) දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 200ක දැවැන්ත ජයග්‍රහණයක් කරා ඉන්දියාව මෙහෙයවීමට සමත් වූ Hardik Pandya විසින් එම තරගයෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට දරුණු චෝදනාවක් එල්ල කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැත්වුණ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ඊයේ පැවැත්වුණු අතර මෙම තරගය ජයග්‍රහණය කිරීම නිසා තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

මෙම තරගාවලියේ පළමු තරගය ඉන්දීය නිත්‍ය නායක Rohit Sharma විසින් මෙහෙය වූ නමුත් ඉතිරි තරග දෙක සඳහා Rohit සහ Kohli යුගලය සහභාගී නොවීම නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Pandya හට පැවරුණා.

ඊයේ පැවැත්වුණු තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවන් විසින් ලකුණු 351ක් ලබා ගැනීමට සමත් වුනත්, ඊට පිළිතුරු සැපයීමට පිටියට පිවිසි කොදෙව් ඉනිම ලකුණු 151කට සීමා වුනා.

තරගය නිමා වීමෙන් පසුව සම්මාන ප්‍රදානෝත්සවය වෙනුවෙන් සහභාගී වූ ඉන්දීය නායක Pandya විසින් මෙම තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමට වෙනුවෙන් සැලසූ පහසුකම් පිළිබඳ චෝදනාත්මක මුඛයෙන් යුතුව අදහස් පල කරා.

Pandya විසින් තරගය පිළිබඳ අදහස් දැක්වීමට පැමිණි මොහොතේ හිටපු කොදෙව් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ද වන Daren Ganga විසින් එම තරගය පැවැත්වුණු Brian Lara Stadium ක්‍රීඩාංගණයේ පහසුකම් පිළිබඳ Pandyaගේ අදහස් විමසුවා.

එය ඉතාම හොඳ ක්‍රීඩාංගණයක් බවට පිළිතුරු දෙමින් Pandya විසින් සිය අදහස් දැක්වීම ආරම්භ කළත් පසුව සිය ගියරය මාරු කළ Pandya විසින් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මූලික අවශ්‍යතා සපුරාලීමට අසමත් වීම පිළිබඳ චෝදනා එල්ල කිරීමට පටන් ගත්තා.

“මෙය අපි ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩාංගණ වලින් එකක්. අපි මීළඟ වතාවේ බටහිර ඉන්දීය කොදෙව් දේශයට එන විට දේවල් කළමනාකරණය කිරීමේ සිට සංචාරය දක්වා මෙයට මීට වඩා හොඳ විය හැකි. පසුගිය වසරෙත් යම් දේවල් සිදු වුනා.

මම හිතන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විසින් එය සැලකිල්ලට ගනිමින් කණ්ඩායමක් සංචාරය කරන විට ඒ ගැන වග බලාගත යුතු කාලය එළඹිලා.

අපි සුඛෝපභෝගී දේවල් ඉල්ලන්නේ නැහැ, නමුත් අපේ මූලික අවශ්‍යතා සපුරාලිය යුතුයි. ඒ හැරුණු කොට මෙහි පැමිණීම සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීම උපරිමයෙන් වින්දනය කළා.”

එමෙන්ම එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ඉන්දීය කණ්ඩායමට ට්‍රිනිඩෑඩ් සිට බාර්බඩෝස් දක්වා යෑමට තිබූ රාත්‍රි ගුවන් ගමන පැය හතරකට ආසන්න කාලයකින් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද ඉන්දීය ක්‍රීඩකයින් විසින් මීට පෙර BCCI වෙත මැසිවිලි නගා තිබුණා.

එමෙන්ම ඊයේ තරගයට පෙර තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමේ පැවති අතර එය ද ඉන්දීය කණ්ඩායමට අමතර පීඩනයක් වූ බව විශ්වාස කළ හැකි.

මේ අතර ඊයේ තරගය ආරම්භ වීමට පෙර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු කොදෙව් දඟපන්දු යවන ක්‍රීඩක Samuel Badree විසින් තරමක් උපහාසාත්මකව Pandyaව ආමන්ත්‍රණය කරමින් විමසා සිටියේ මෙම තරගය පරාජය වුවහොත් වසර 17කට පසුව කොදෙව් දේශයේ දී එක්දින තරගාවලියක් පරාජය වීමට සිදු වන නායකයෙකු ලෙස කෙතරම් පීඩනයක් දැනෙනවා ද කියායි.

නමුත් Pandya ඒ වෙනුවෙන් ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

“ඒක කමක් නැහැ, මම කැමතියි විශේෂ වෙන්න.”

එමෙන්ම තරගයෙන් අනතුරුව Pandya විසින් අවධාරණය කළේ නායකයෙකු ලෙස තමන් පීඩනය සහිත තරග ක්‍රීඩා කිරීමට කැමති බවයි.

මේ අතර මෙම තරගයේ දී Pandyaගේ වචන මෙන්ම තියුණු සහ ප්‍රවේගකාරී ලෙස ඔහුගේ පිත්ත ද ක්‍රියාත්මක වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වුනේ පන්දු 52කට මුහුණ දුන් Pandya විසින් දැවැන්ත හයේ පහර 5ක් ද සමඟින් නොදැවුණු ලකුණු 70ක් වාර්තා කිරීමට සමත් වීමයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<