මරණය සමඟ පොරබදන සටන්කාමී රොඩේෂියානුවා!

11438
Heath Streak

හීත් ස්ට්‍රික් කියන්නේ 90 දශකයේ මුල ඉඳල දෙදහස් ගණන්වල මැද වෙනකල් සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරපු අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. විශාල ශරීරකායකට හිමිකම් කියපු ස්ට්‍රික් පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් විශාල දායකත්වයක් සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නා.  

හැබැයි අද වෙද්දී ස්ට්‍රික් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් ජීවිතය සහ මරණය සමඟ සටන් කරමින් ඉන්නවා. ඔහු දකුණු අප්‍රිකාවේ රෝහලක ප්‍රතිකාර ලබන බවයි අන්තිමට අහන්න ලැබුණේ. අද අපේ ලිපිය වෙන්වන්නේ හීත් ස්ට්‍රික් නම් ඒ සටන්කාමී රොඩේෂියානුවා ගැනයි. 

1974 වසරේ මාර්තු 16 වැනිදා උපන් හීත් හිල්ටන් ස්ට්‍රික්ට ක්‍රීඩාව විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව අමුතු, නුහුරු දෙයක් වුනේ නැහැ.  

හීත් ස්‍ට්‍රික්ගේ පියා ඩෙනිස් සිම්බාබ්වේ කණ්ඩායමේ කළමනාකරුවෙකු විදියට රාජකාරි කළ අයෙක්. ඒ වගේම ඔහු 1976 සිට 1985 කාලසීමාවේ විවිධාකාරයේ සිම්බාබ්වේ කණ්ඩායම් වෙනුවෙන් තරග ගණනාවකට ක්‍රීඩා කළ අයෙක්. 

හීත්ගේ ක්‍රිකට් දිවියේ ප්‍රධාන දිරිගන්වන්නා වුනේ ඔහුගේ පියා. ඉහළට යාමට වෙහෙස මහන්සි වී කැපවීමේ අවශ්‍යතාවය ඩෙනිස් නිරන්තරයෙන් සිය පුත්‍රයාට අවධාරණය කළා. හීත් කිසිම විටෙක සිය පියාගේ බලාපොරොත්තු කඩ කළේ නැහැ. 

පියාගේ මනා මග පෙන්වීම නිසාම පළමු ලෝක සංග්‍රාම සමයේ සිටම බුලවායෝ’හි ක්‍රිකට් ක්‍රීඩා කරන ස්ට්‍රීක්වරුන්ගේ පරම්පරාවේ තවත් එක් පුරුකක් බවට පත්වන්නට හීත්ට හැකියාව ලැබුණා. 

ක්‍රිකට් වගේම සිම්බාබ්වේ රටේ එළිමහන් ජීවිතය හීත්ට කුඩා කාලයේ ඉඳන් ආගන්තුක වුනේ නැහැ. දඩයමේ යෑම ඔහුගේ ප්‍රධාන විනෝදාංශ අතරින් එකක්. සිම්බාබ්වේ ක්‍රිකට් සංගමය සමග වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ගිවිසුම් අත්සන් කරන්නත් කලින් ඉඳලම ඔහුට දඩයම් බලපත්‍රයක් තිබුණා. 

සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරපු බොහෝමයක් ටෙස්ට් ක්‍රීඩකයින් වගේම හීත් ස්ට්‍රික් අධ්‍යාපනය ලැබුවෙත් මෙටබෙලේලන්ඩ්’හි ෆැල්කන් විදුහලේ. පාසල් සමයේ ඉඳලම හීත්ගෙන් පෙන්නුම් කෙරුණේ දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ. 

ෆැල්කන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරුවෙකු සහ ආක්‍රමණශීලී පන්දු යවන්නෙකු ලෙස පෑ දස්කම් නිසා හීත් තමන්ගේ වයස් කාණ්ඩයට වඩා ඉහළ වයස් කාණ්ඩවල කණ්ඩායම්වලට නිතර තෝරා ගැනුණා 

ෆැල්කන් පාසලේ ඇති අලංකාර වේගවත්, සජීවී තණතීරුව නිසා වේගපන්දු යැවීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. 

පිතිකරුවෙක් විදියට නම් ඔහුට පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ලැබුණ අවස්ථා සීමිතයි. අවස්ථාවක් ලැබුනත්, ඒ පිතිකරණ ලැයිස්තුවේ අග හරියෙන්. නමුත් ඒ නිසාවෙන් ඔහුගේ දක්ෂතා මැකී ගියේ නම් නැහැ. එක් තරග වාරයක දී ඔහු පිතිකරණ සාමාන්‍යය 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ අවසන් කළා. තරගාවලිය පුරාවටම ප්‍රතිවාදීන්ට ඔහුව දවා ගන්න ලැබුණේ එක් වතාවක් පමණයි. 

කැපවීමෙන් ක්‍රීඩා කළ හීත් ඉක්මනින් පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් මතින් සිම්බාබ්වේ දේශයේ ජාතික මට්ටමේ සෑම වයස් කාණ්ඩයකම කණ්ඩායම්වලට තේරී පත්වෙන්නට සමත් වුනා.  

එංගලන්තයේ වයස අවුරුදු 17න් පහළ සංචාරයක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ හීත් තරගාවලිය පුරාවටම කඩුලු අතර රැඳෙන්නට සමත් වුනා. එමෙන්ම එංගලන්තයේ පැවති තුන්දින තරගයක දී ලකුණු 84 ක් රැස් කරන්නටත් ඔහු සමත් වුනා.  

සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම් සමඟ හීත් ස්ට්‍රික් පෑ දස්කම් එරට ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කළේ නැවුම් බලාපොරොත්තුවක්. 

සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන විට ගුණාත්මක බවින් ඉහළ වේගපන්දු යවන්නන්ගේ දැඩි හිඟයක් පැවතුන අතර නිවැරදි එල්ලයට පන්දු යවන හීත් ඉක්මනින් බලධාරීන්ගේ අවධානයට ලක්වුනා. 

1992/93 තරග වාරයේ දී ඔහු සිම්බාබ්වේ වයස අවුරුදු 24න් පහළ කණ්ඩායම වෙනුවෙන් තරග තුනකට ක්‍රීඩා කර ප්‍රයෝජනවත් කඩුලු කිහිපයක් දවා ගත්තත්, ඔහුව පුවත්පත් සිරස්තලවලට හසුවුනේ නැහැ. නමුත් බලධාරීන් ඔහුගේ දස්කම් දෙස තියුණු ඇසකින් බලාගෙන හිටියේ. 

අන්තර් සමාජ මට්ටමෙන් සහ සිම්බාබ්වේ දෙවැනි පෙළ කණ්ඩායම් සමඟ දැක්වූ දස්කම් හේතුවෙන් ඉන්දියාවේ පැවති හීරෝ කුසලාන තරගාවලිය සඳහා සහ 1993/94 හි පාකිස්තාන සංචාරය සඳහා සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායමට හීත් ස්ට්‍රික් තෝරා ගන්නට සිම්බාබ්වේ බලධාරීන් තීරණය කර තිබුණා. 

පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කරච්චි නුවර පැවති හීත්ගේ මංගල ටෙස්ට් තරගයේ දී ඔහු කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. 

හීත් තමා ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිමේ පළමු පන්දුවේ දී ම වකාර් යුනිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ලකුණු නොලබා දැවී ගියා. නමුත් දෙවැනි ඉනිමේ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයෙන් ගලවා ගන්නට පැය දෙකකට වැඩි කාලයක් දක්ෂ ලෙස සටන් කරමින් ලකුණු 19ක් ලබා ගන්නට හීත් ස්ට්‍රික් නම් යෞවනයා සමත් වුනා. එය ඉදිරියට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන්නට නියමිත සටන්කාමියෙකුගේ ලක්ෂණ පැහැදිලි කළ ඉනිමක් වුනා. 

ඉන්පසුව රාවල්පින්ඩි හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී විශිෂ්ට ලෙස පන්දු යවමින් ලකුණු 56කට කඩුලු 5ක් ද තරගය පුරාවටම කඩුලු 8ක් දවා ගන්නටත් හීත් සමත් වුනා. මේ තරගයේ දී සුපිරි පාකිස්තානු පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ්ගේ කඩුල්ල දෙවරක් දවා ගැනීම ඔහුට විශේෂ ජයග්‍රහණයක් වුනා. 

එවකට සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ජෝන් හැම්ප්ෂයර් හීත්ගේ පන්දු යැවීමේ ඉරියව්ව වර්ධනය කර ගැනීමේ දී ලබා දුන් සහයෝගය ඉතා විශාල බව පැවසෙනවා. 

1994/95 තරග වාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ සංචාරය ආරම්භ කරද්දී එඩෝ බ්‍රැන්ඩස් සහ තවත් වේගපන්දු යවන්නන් කිහිපදෙනෙක් ආබාධයකට ලක්වීම නිසා සිම්බාබ්වේ පන්දු බලඇණියට නායකත්වය දීමේ වගකීම පැවරුණේ යාන්තම් විසි හැවිරිදි හීත් ස්ට්‍රික් නම් තරුණයා මත. අනපේක්ෂිත ලෙස තමාගේ හිස මත වැටුණ වගකීමට ස්ට්‍රික් උපරිම සාධාරණයක් ඉටු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 37න් 13කටම වග කියමින්. 

1995 වසර මුල සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරගන්න සමත් වුනා. මේ අමරණීය ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් විශාලම මෙහෙයක් කළේ හීත් ස්ට්‍රික්. ඔහු තරගය පුරාවටම කඩුලු 9ක් දවා ගන්න සමත් වුනා.  

එවර පාකිස්තානු සංචාරය පුරාවට කඩුලු 22ක් දවා ගන්න හීත් සමත් වුනේ වසීම් අක්‍රම් වැනි අද්විතීය පන්දු යවන්නෙකු පවා අභිභවා යමින්. මේ දස්කම් මාලාව නිසාම ඉන්සමාම් උල්හක් සමඟ තරගාවලියේ වීරයා සම්මානය සමව දිනා ගන්නට හීත් ස්ට්‍රික් නම් යෞවනයා සමත් වුනා. මේ සියල්ල කළේ ඔහුට වයස අවුරුදු විසිඑක වෙන්නත් කලින්. 

එතැන් පටන් සිම්බාබ්වේ ක්‍රිකට් සමඟ ඉදිරියෙන්ම කියවෙන නමක් බවට පත්වන්නට හීත්ට හැකියාව ලැබුණා. පසුකලෙක සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පවා ස්ට්‍රික් මත පැටවුණේ ඔහු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දුන් දායකත්වය අගයමින්. 

ටෙස්ට් තරග 65කට සහ එක්දින ජාත්‍යන්තර තරග 189කට සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ ස්ට්‍රික් තරග රටා දෙකේ දී ම කඩුලු 200කට වැඩියෙන් දවා ගන්නට සමත් වුනා. දශකයකට එහා ඇදී ගිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් හීත්, 2005 වසරේ සැප්තැම්බර් මාසයේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළා. 

අවස්ථාවක් ලද සෑම නිවාඩු කාලයක දී ම සිම්බාබ්වේ රටේ වනජීවින් සමඟ කාලය ගත කළ හීත් ඔහුගේ විනෝදාස්වාදය වන දඩයමේ යෑමට වැඩි කාලයක් ගත කළා. කුරුල්ලන්ට වෙඩි තැබීම දඩයමේ ඔහුගේ කැමතිම අංගය වුනා. 

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර කණ්ඩායම් කිහිපයක පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හීත් ස්ට්‍රික් ඉන්දියානු ප්‍රිමියර් ලීග් කණ්ඩායම් කිහිපයක මෙන්ම පාකිස්තානු සුපර් ලීග් තරගාවලියෙත් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. 

උපතින්ම සටන්කාමියෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් නම් රොඩේෂියානුවා අද ජීවිතය සහ මරණය සමඟ කරන සටන ජය ගනු දැකීමයි ක්‍රිකට් රසිකයින් ලෙස අපේ පැතුම. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<