ඕස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc ආබාධයක් සහිතව ම 2023 අළුබඳුන තරගාවලියේ අවසන් තරගයට සහභාගී වන බව වාර්තා වනවා.
මැන්චෙස්ටර් හි පැවැත්වුණු තරගාවලියේ සිව්වැනි තරගයේ දී උරහිසේ ආබාධයකට ලක් වූ Starc විසින් සිය ආබාධය කෙතරම් බරපතළ ද යන්න පිළිබඳ සොයා බැලීම කිහිප දිනකට කල් දමමින් ඊයේ (27) ආරම්භ වූ තරගාවලියේ අවසන් තරගය වෙනුවෙන් සිය සම්පූර්ණ අවධානය යොමු කිරීමට තීරණය කර තිබූ බවයි මේ පිළිබඳ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබෙන්නේ.
“ස්කෑන් කිරීමක් හෝ එවැනි දෙයකට යොමු වෙන්න මට උවමනාවක් නැහැ. අපි මේ සතිය අවසානයේ ඒ ගැන සලකා බලමු. පොඩි අපහසුතාවක් තියෙනවා, AC සන්ධියේ (උරහිස් සන්ධියක්) යම් දෙයක් සිදු වෙමින් පවතිනවා. විශාල ආබාධයක් නෙවෙයි, මට තවමත් පන්දු යවන්න වගේම කළ යුතු දේ කරන්න පුළුවන්.”
පෙර තරගයේ දී ද යම් අපහසුතාවක් සහිතව වුවත් පන්දු යැවීමේ නිරත වූ Starc මෙම තරගයේ දීත් සිය වේදනාව අමතක කිරීමට තීරණය කර තිබෙනවා. ඔහුට ඊයේ තරගය අතරතුර ද තවත් අමතර වෛද්‍ය උපකාර කිහිපයක් වෙනුවෙන් පිටියෙන් මද වේලාවකට ඉවත් වී සිටීමට සිදු වුවත්, ඔහු නැවත පිටියට පිවිසෙමින් එංගලන්ත නායක Ben Stokesව දවා ගැනීමට අග්‍රගණ්‍ය පන්දුවක් යොමු කිරීමට සමත් වුනා.
ඊට අමතරව ඔහු විසින් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Harry Brookව ද දවා ගැනීමට සමත් වූ අතර සමස්ත එංගලන්ත ඉනිමේ කඩුලු 4ක් Starc සතු වුනා.
ගෙවුණු වසරක කාලය තුළ මෙය Starc ආබාධයකට ලක් වූ දෙවැනි අවස්ථාව ලෙසයි මෙය සටහන් වන්නේ. ඔහු මීට පෙර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර ද ඇඟිල්ලේ ආබාධයකට ලක් වුනා.
ඒ නිසා ඔහුට ටෙස්ට් තරග තුනක් අහිමි වූ අතර, මෙවර නම් මෙම අළුබඳුන තරගයෙන් අනතුරුව ඔහුට අවම වශයෙන් සති තුනක පමණ විවේකයක් ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියෙන් ද ඔහු විවේක ගන්වනු ඇති බවත් අනුමාන කළ හැකියි.
- උණුසුම් ක්‍රිකට් ගැටුමක සත්කාරකත්වය සූරියවැව ලැබෙන ලකුණු
- ඉන්දීය නායිකාව බංග්ලාදේශයේ දී යකා නටයි
- නායිකාව නිසා ඉන්දියාවට අමතර හිසරදයක්
- ඉන්දීය ක්‍රිකට් නායිකාවට ICCයෙන් දඬුවම්
“මම වසර දහයකට වැඩි කාලයක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ කාලය අතරතුර මම ආබාධ කිහිපයකට මුහුණ දුන්නා. මම කණ්ඩායමෙන් ඉවත් වූ අවස්ථා තියෙනවා. අපි හැමෝම මේ වගේ ගැටලුවලට මුහුණ දෙනවා. මේ සතිය කියලා වෙනසක් නැහැ. ඒක පොඩි අපහසුතාවක් විතරයි.”
මෙවර අළුබඳුන තරගාවලියේ ආරම්භක තරගයට Starc ඇතුළත් නොවූ නමුත් දෙවැනි තරගයේ පටන් ඔහු දිගින් දිගටම කණ්ඩායමේ රැඳී සිටියා. එමෙන්ම මේ වන විට ඉනිම් 6ක දී පමණක් පන්දු යවා ඇති Mitchell Starc විසින් එංගලන්ත කඩුලු 19ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වීමට සමත් වී තිබෙනවා.
මේ වන විට 2-1ක් ලෙස 2023 අළුබඳුන තරගාවලියේ ඉදිරියෙන් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමට 3-1ක් ලෙස තරගාවලිය නිමා කර ගැනීමට හැකි වේ නම් එහි වැඩි බරක් Starcගේ ආබාධිත උරහිස මත ද පැටවෙනු ඇති. නමුත් මෙවැනි ආබාධ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අතිශය සාමාන්‍ය දෑ බවයි Starc පවසන්නේ.
“ඒක සුවපහසු දෙයක් නෙවෙයි, නමුත් මම හිතන්නේ නැහැ ජාත්‍යන්තර ක්‍රිකට් වල කිසිම පන්දු යවන්නෙක් ඇඟට සුවපහසුයි වගේ කතාවක් කියාවි කියලා.
ඒ නිසා ඉදිරියට යා යුතුයි. අපි අළුබඳුන ජයග්‍රහණය කිරීමට උත්සාහ කළ යුතු ලොකු සතියක් ඉස්සරහින් තියෙනවා. ඉන්පසුව සති කිහිපයක විවේකයක් තියෙනවා. ඒ නිසා මේ සතිය වෙනුවෙන් නැගිටින්නේ නැතිව ඉන්න හේතුවක් නැහැ.”
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
ESPN Cricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<