ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරයි

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

436
25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ අද (16) රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

දිනයේ පළමු රන් පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූ අතර මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ ඇය එම තරගය අවසන් කිරීමට මිනිත්තු 2:00.66ක කාලයක් ගත කළා.

තරුෂි එම ඉසව්ව අවසන් කිරීමට ගත් කාලය කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ගයන්තිකා අබේරත්න විසින් පිහිටුවා තිබූ (මිනිත්තු 2:01.20) සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ වාර්තා කර තිබූ හොඳම කාලය අබිබවා යන දස්කමක් වීම විශේෂත්වයක්.

තවමත් 18 වැනි වියේ පසු වන තරුෂි නිමා වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද මීටර් 800 රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඒ වත්මන් ආසියානු කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ ද්විත්වයේම මීටර් 800 ආසියානු ශූරිය වන්නේ ද ඇයයි.

එමෙන්ම මෙම තරගාවලියේ ඇය දිනා ගත් දෙවැනි පදක්කම මෙය වන අතර මීට පෙර මීටර් 4×400 මිශ්‍ර කණ්ඩායම නියෝජනය කරමින් ඇය රිදී පදක්කමක් දිනා ගත්තා.

මෙම තරගයේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලියේ දෙවැනි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වූ අතර ඇය එම ඉසව්ව නිමා කිරීමට ගත් කාලය මිනිත්තු 2:03.25ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනයේ දෙවැනි රන් පදක්කම දිනා ගනිමින් නව තරගාවලි වාර්තාවක් සහ ජාතික වාර්තාවක් පිහිටුවීමට පිරිමි මීටර් 4 x400 සහය දිවීමේ කණ්ඩායමට හැකි වුනා.

ඔවුන් එම තරගය ඉතා තියුණු සටනකින් පසු මිනිත්තු 3:01.56ක කාලයක් ගත කළ අතර ඒ දස්කම සමඟ ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු සටහනේ 12 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඔවුන්ට හැකි වුනේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගෙනයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ තරග වැදුණා.

තරුෂි කරුණාරත්නගේ සුපිරි අවසන් කිරීම නිසාවෙන් කාන්තා මීටර් 4 x400 සහය දිවීමේ තරගය මිනිත්තු 3:33.27ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

එම කාලය ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ජාතික වාර්තාව බිඳ හෙළීමට ද ඔවුන්ට හැකි වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළේ නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස් සහ නිශ්‍රේන්ද්‍රා ප්‍රනාන්දුයි.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟ සමස්ත පදක්කම් අටක් දිනා ගැනීමට සමත් වූ අතර එය තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දිනූ වැඩිම පදක්කම් ගණන වීම ද විශේෂත්වයක්.

සමස්ත පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව සිව්වැන්නා ලෙස තරගාවලිය අවසන් කළ අතර එය ද ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලි ඉතිහාසයේ ලබා ගත් ඉහළම ස්ථානය වෙනවා.

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ඉහළ දස්කම් දක්වමින් ලක් මතාවට ඉහළ ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<