CSK වෙතින් ලද නිදහස ගැන Rahane විස්තර කරයි

India Tour of West Indies 2023

3438
India tour of Weat InIndies 2023

නිමා වූ 2023 IPL තරගාවලියේ දී Chennai Super Kings තමන්ට පිතිකරණයේ යෙදීමට උපරිම නිදහස ලබා දුන් බව Ajinkya Rahane විසින් සඳහන් කරනවා.

2023 IPL තරගාවලියේ තුළ දී Rahane විසින් සිය ප්‍රහාරාත්මක වේගය 172ක් වැනි ඉහළ අගයක රඳවා ගනිමින් ලකුණු 326ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට පෙර ඔහුගේ IPL තරග ඉතිහාසයේ ප්‍රහාරාත්මක වේගය ආසන්න වශයෙන් 120ක පමණ අගයක රැඳී තිබීම විශේෂත්වයක්.

“CSK මට නිදහස දුන්නා. මම ක්‍රීඩා කළ අනෙක් කණ්ඩායම් වලින් මට තරගය ඇද ගෙන යන්න (Anchor Role) තමයි බාර දුන්නේ. නමුත් CSK විසින් මට එළියට ගිහින් පහර දෙන්න අවසර දුන්නා.”

CSK කණ්ඩායමට මෙවර IPL ශූරතාව ජයග්‍රහණය කිරීම සඳහා Rahane විසින් දැක්වූ මෙම පෙළහර විශාල හේතුවක් වූ අතර, අනෙක් පසට එම ආක්‍රමණශීලී පිතිකරණය Rahaneගේ ක්‍රීඩා ජීවිතයට ද එළියක් වූ බව විශ්වාස කළ හැකි.

ඉන්දීය ජාතික ටෙස්ට් කණ්ඩායමෙන් වසරක පමණ කාලයක් එළියට විසි වී සිටි Rahane හට නිමා වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර එම අවස්ථාව ලැබීමට ප්‍රධානතම හේතුව ඔහුගේ IPL දක්ෂතා බව බහුතරයක් දෙනා විශ්වාස කරනවා.

නමුත් ඔහු රංජි කුසලාන තරගාවලියේ දී ද මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය කාලයේ විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වුනා. ඔහු එහි දී ඉනිම් 11ක් තුළ ලකුණු 634ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.

එවැනි වාතාවරණයක් තුළ නැවත කණ්ඩායමට පැමිණි Rahane විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී සාර්ථක වූ එක ම ඉන්දීය පිතිකරුවා ලෙස හඳුන්වා දිය හැකියි.

ඔහු එම තරගයේ පළමු ඉනිමේ ලකුණු 89ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී යම් කාලයක් කණ්ඩායමෙන් ඉවත් ව සිට නැවත පැමිණීමේ දී තමන්ට කිසිදු වෙනසක් නොදැනුණු බවයි Rahane සඳහන් කරන්නේ.

රංජි කුසලානයේ දී ඔහු සමඟ එක ම කණ්ඩායමට ක්‍රීඩා කරමින් පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ Sarfaraz Khan වැනි ක්‍රීඩකයෙකු අබිබවා Rahane නැවත කණ්ඩායමට කැඳවීමට ඔහු සතු ව ඇති විසල් අත්දැකීම් ප්‍රමාණය ද හේතු වූ බව නොරහසක්.

Rahaneගේ මෙම නැවත පැමිණීමෙන් පසුව ඔහුට කණ්ඩායමේ උපනායකත්වය පවා හිමි වීම විශේෂත්වයක්.

“මම මේ භූමිකාවට පුරුදු වෙලා හිටියේ. මම අවුරුදු 4-5ක් විතර උපනායකයා වෙලා හිටියා. කණ්ඩායමට නැවත පැමිණෙන්න වගේ ම උපනායකත්වය දරන්න ලැබීම ගැනත් මම ඇත්තටම සතුටු වෙනවා.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (12) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයට පෙර පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර Rahane විසින් මෙම අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට ඉන්දීය මාධ්‍ය වලට පැනනැගී ඇති විශාලතම ගැට‍ලුවක් වන ඉන්දීය ටෙස්ට් නායකත්වය වෙනුවෙන් ද මේ වන විට Rahaneගේ නම යෝජනා වීම විශේෂත්වයක්.

නමුත් Rahane නම් පවසන්නේ ඔහු Rohit Sharmaගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට කැමති බවයි.

“WTC අවසන් තරගය තමයි Rohit යටතේ මම ක්‍රීඩා කළ පළමු තරගය. ඔහු ක්‍රීඩකයින්ට ගොඩක් නිදහස ලබා දෙනවා. ඔහු ක්‍රීඩකයින් ව දිරි ගන්වනවා. එය හොඳ නායකයකුගේ ලක්ෂණයක්.”

Rahane එසේ අදහස් පළ කලත් Rohitගේ නායකත්වය තවත් බොහෝ කල් පවතීවි යැයි අනුමාන කළ නොහැකි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර ඊයේ ආරම්භ වූ ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී කොදෙව් ඉනිම ලකුණු 150කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් විසින් සමත් වුනා. ඒ වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කරන ඉන්දියාව දිනය නිමා වන විට කිසිවකුත් නොදැවී ලකුණු 80ක් ලබා සිටියා.

එම තරගයේ දී Rahane විසින් කෙසේ දස්කම් අතරට පිවිසේවි දැයි අපිට ඉදිරි දිනවල දී දැක බලා ගත හැකි වේවී.

කොදෙව් – ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<