මල්ෂ, විශේන්, පුලිඳු, යූරි දක්ෂතා දැක්වූ මහනුවර දිනූ යූත් ශූරතාව

Sri Lanka Youth League 2023

599

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර කණ්ඩායම පසුගිය දා සමත් වුනා.

කොළඹ උතුර කණ්ඩායම සමඟින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී ඔවුන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව උදා කර ගත්තා.

තරගාවලියේ ගමන් මඟ
කණ්ඩායම 1 කණ්ඩායම 2 තරග ප්‍රතිඵලය
1 මහනුවර ගාල්ල මහනුවර කණ්ඩායමට ලකුණු 88ක ජයක්.
2 කොළඹ උතුර කොළඹ දකුණු කොළඹ උතුරට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 51ක ජයක්.
3 කොළඹ දකුණ දඹුල්ල කොළඹ දකුණුට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 98ක ජයක්.
4 මහනුවර කොළඹ උතුර අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය අතහැර දමන ලදි.
5 දඹුල්ල ගාල්ල ගාල්ලට කඩුලු 2ක ජයක්.
6 මහනුවර කොළඹ දකුණ මහනුවරට ලකුණු 108ක ජයක්.
7 කොළඹ උතුර ගාල්ල ගාල්ලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුල්ලක ජයක්.
8 දඹුල්ල මහනුවර අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය අතහැර දමන ලදි.
9 කොළඹ උතුර දඹුල්ල අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය අතහැර දමන ලදි.
10 ගාල්ල කොළඹ දකුණු අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය අතහැර දමන ලදි.
අවසන් මහා තරගය
11 කොළඹ උතුර මහනුවර මහනුවරට කඩුලු 6ක ජයක්.

අවසන් මහා තරගය

කණ්ඩායම් 5ක් අතර පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම එක් එක් කණ්ඩායම් ලබා ගත් ප්‍රසාද ලකුණු මත තීරණය වුනා. ඒ අනුව ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටි මහනුවර සහ කොළඹ උතුර කණ්ඩායම් අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ වෙද්දී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව 1.96ක අගයක් ද සහ කොළඹ උතුර ක්‍රීඩකයෝ 0.732ක අගයක් ද ලබා ගෙන සිටියා.

  • මහනුවර කණ්ඩායම: රහල් අමරසිංහ, පුලිඳු පෙරේරා, සුපුන් වඩුගේ, ලක්වින් අබේසිංහ,  කවීජ ගමගේ, දිනූෂ පීරිස්, තරණ විමලධර්ම, කවීෂ පියුමාල්, දිනූක තෙන්නකෝන්, තේනුක ඒකනායක, අබ්දූල් හකම, මනුල කුලරත්න, තිසර ඒකනායක
  • කොළඹ උතුර කණ්ඩායම: කවිඳු අමමෙත්, ලිනාල් සුබසිංහ, තනුජ රාජපක්ෂ, හිරාන් ජයසුන්දර, හිරුන් කපුරුබණ්ඩාර, සාරුජන් ශම්මුගනාදන්, ප්‍රවීන් මනීෂ, ඉනූක කරන්නාගොඩ, විහස් තෙව්මික, දුවිඳු රණතුංග, රුවිසාන් පෙරේරා, උවින් පෙරේරා, රශ්මික හිරුශාන්

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුව පන්දු යැවීම තෝරා ගනිමින් ක්‍රීඩාංගණයට පිවිසියා. ඔවුන්ගේ තීරණය සාධාරණීය කළ ඔවුන්ගේ පන්දු යවන්නෝ ප්‍රතිවාදී පළමු කඩුලු 5 ලකුණු 29ක් තුළ දවා ගැනීමට සමත් වුනා.

නමුත් එතැන් සිට පන්දු යවන්නන්ව තරමක පාලනයකට ගත් කොළඹ උතුරු කණ්ඩායමේ සාරුජන් සම්මුගනාදන් සහ රශ්මික හිරුෂාන් 6 වැනි කඩුල්ල සඳහා පන්දු 84ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කළා.

රශ්මික හිරුෂාන් පන්දු 48ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දිනුක තෙන්නකෝන්ගේ පන්දුවක් හමුවේ දැවී යමින් එම සබඳතාව නිමා වුනා.

ඉන් අනතුරුව ඉනුක කරන්නාගොඩ (10) සමඟ එක් වූ සාරුජන් සම්මුගනාදන් 8 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 30ක් ද, උවින් පෙරේරා (8) සමඟ එක් වෙමින් 9 වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 28ක සබඳතාවක් ද එක් කළා.

සම්මුගනාදන් අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේ ද නායක දුවිඳු රණතුංග (නොදැවී 14) සමඟින් 10 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 27ක සබඳතාවක් එක් කරමින් සිටිය දීයි.

ඔහු දැවී යන විට පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 76ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී තෙනුක ඒකනායක සහ අබ්දුල් හකම් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර කවීෂ පියුමාල් සහ දිනුක තෙන්නකෝන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ ඉනිම අවසන් වීමට තවත් පන්දුවාර 14ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රාහකයන් වුනා.

එම ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු 9කට සීමා වූව ද, දෙවැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් එක් කරමින් තරගයේ ජයග්‍රාහී අඩිතාලම දැමීමට නායක රහල් අමරසිංහ සහ සුපුන් වඩුගේ සමත් වුනා. ඔවුන් ඒ සඳහා වැය කළේ පන්දු 81ක් පමණයි. සුපුන් වඩුගේ පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

අනතුරුව කඩුල්ල වෙනුවෙන් රහල් අමරසිංහ දැවී යද්දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 70ක් ලබා සිටියා. ඔහුගේ මෙම දක්ෂතාව අවසන් තරගයේ වීරයා ලෙසින් ද නම් කිරීමට හේතු වුනා.

තරගය ජයග්‍රහණය කරා සේන්දු වෙද්දී කවිජ ගමගේ පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දුවිඳු රණතුංග ලකුණු 36කට කඩුලු 2ක් දවා ගත්තා.

අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව:

  • කොළඹ උතුර – සියලුම දෙනා දැවී 177 (48.1): සාරුජන් සම්මුගනාදන් 76, රශ්මික හිරුෂාන් 30, තෙනුක ඒකනායක 3/27, අබ්දුල් හකම් 3/39, කවීෂ පියුමාල් 2/25, දිනුක තෙන්නකෝන් 2/38
  • මහනුවර – කඩුලු 4ක් දැවී 178 (35.5): රහල් අමරසිංහ 70, සුපුන් වඩුගේ 31, කවිජ ගමගේ නොදැවී 49, දුවිඳු රණතුංග 2/36

මහනුවර කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

මල්ෂ තරුපති – තරගාවලියේ වීරයා (සම සම්මාන) 

ගාල්ල නායක මල්ෂ තරුපති තරගයේ වීරයා සම සම්මානයට පාත්‍ර වුනා. ඔහු මෙම තරගාවලියේ දී තරග 3ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 104ක් ලබා ගන්නවා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 51යි.

ඊට අමතරව දක්ෂ පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කළ මල්ෂ කඩුලු 6ක් තම ගිණුමට එකතු කර ගන්නවා. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ ලකුණු 41කට ලබා ගත් කඩුලු 2යි. එය වාර්තා වන්නේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහිවයි.

විශේන් හැළඹගේ – තරගාවලියේ වීරයා (සම සම්මාන) 

කොළඹ දකුණ කණ්ඩායම නියෝජනය කළ විශේන් හැළඹගේ තරගාවලියේ වීරයා සම සම්මානයට පාත්‍ර වුනා. ඔහු මෙම තරගාවලියේ දී තරග 3ක දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 48ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 9ක් ලබා ගන්නවා. ඔහුගේ එම දක්ෂතාව කඩුලු ලැබූවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වුනා.

පුලිඳු පෙරේරා – තරගාවලියේ දක්ෂතම පිතිකරු

මහනුවර කණ්ඩායම නියෝජනය කළ පුලිඳු පෙරේරා තරගාවලියේ දක්ෂතම පිතිකරු වීමට තරග 4ක ඉනිම් 3ක දී ලකුණු 178ක් ලබා ගන්නවා. ඊට ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 122ක ඉනිමක් ද ඇතුළත්.

දක්ෂතම පන්දු යවන්නා – යූරි කොත්තිගොඩ

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා ද වූ ගාල්ල කණ්ඩායමේ යූරි කොත්තිගොඩ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද සම්මාන දිනා ගන්නවා. ඔහු තරග 3ක දී කඩුලු 10ක් ලබා ගනිමින් පෑ දක්ෂතා ඊට ඉවහල් වෙනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 41කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව ඔහු කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව ද ලකුණු 53කට කඩුලු 4ක් දවා ගන්නවා.

තරගාවලියේ දක්ෂතා දැක්වූ අනෙකුත් ක්‍රීඩකයෝ

තරගාවලියේ දක්ෂතා දැක්වූවන් අතරින් පිතිකරු ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කර ගත් ගාල්ල කණ්ඩායමේ හිරුණ ගාල්ලගේ ඉදිරියෙන් ම කියැවෙනවා. ඔහු තරග 3ක ඉනිම් 3ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 129ක් ලබා ගන්නවා.

ඊට අමතර ව දඹුල්ල කණ්ඩායමේ පසිඳු මේනක ද තරග 4ක ඉනිම් 3ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 128ක් ලබා ගනිමින් දක්ෂතා දක්වමින් පිතිකරු ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන්කර ගන්නවා.

මෙයට අමතරව තරගාවලියේ ශතකලාභී ක්‍රීඩකයෙක් ලෙසින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කොළඹ දකුණු කණ්ඩායමේ රුෂඳ ගමගේ සමත් වෙනවා. ඔහු දඹුල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලබා ගත් ලකුණු 117ක් ද සමඟින් තරග 3ක ඉනිම 3ක දී ලකුණු 120ක් ලබා ගන්නවා. එය පිතිකරු ලැයිස්තුවේ ශ්‍රේණිගත වෙන්නේ 4 වැනි ස්ථානයටයි.

තරගාවලියේ පන්දු යවන්නන් අතුරින්  තෙවැනි ස්ථානය කොළඹ දකුණ කණ්ඩායමේ  සහන් මිහිර සතු කර ගන්නේ කඩුලු 7ක් ලබා ගනිමින්.

තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ කොළඹ උතුර කණ්ඩායමේ දුවිඳු රණතුංග. ඔහු කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට කඩුලු 5ක් දවා ගන්නවා.

වයස අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ සියලු ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<