ඕමානයට දඬුවමක්!

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023

356
Oman penalised for slow over rate against Zimbabwe

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (29) පැවති තරගයේ දී රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසා ඕමාන කණ්ඩායමට තරග ගාස්තුවෙන් 40%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

තරගයේ නියමිත පන්දුවාර වේගයට වඩා පන්දුවාර දෙකක් පිටුපසින් සිටීම නිසා ඕමාන කණ්ඩායමට මෙම දඬුවම පැනවීමට තරග තීරක Muhammad Javed කටයුතු කර තිබෙනවා.  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2.2 වගන්තියට අනුව නියමිත කාලයට යවා අවසන් නොකරන සෑම පන්දු වාරයක් සඳහා අදාළ කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් හට සිය තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පැනවෙනවා.  

මෙම දඬුවමට අදාළ චෝදනාව ඕමාන නායක Zeeshan Maqsood පිළිගෙන ඇති නිසා එය පිළිබඳ නැවත විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.  

එමෙන්ම මෙම තරගය ක්‍රීඩා කළ ඕමාන ක්‍රීඩක Kaleemullah ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කළ නිසා දඬුවම් කර තිබෙනවා.  

ඔහුට එලෙස දඬුවම් කර ඇත්තේ 2.5 වගන්තිය වන “ජාත්‍යන්තර තරගයක් අතරතුර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු දැවී යාමෙන් පසුව වාචික ව හෝ සංඥාවෙන් ඔහුට අවමානයට හෝ අපහාසයට ලක් වෙන ප්‍රතිචාරයක් දැක්වීම” උල්ලංඝනය කිරීම නිසයි 

ඒ අනුව ඔහුට දඬුවම් ලකුණක් හිමි වන අතර ඔහු අවසන් මාස 24ක කාලය තුළ මෙලෙස දඬුවම් ලකුණක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. 

තරගයේ 12 වැනි පන්දු වාරයේ දී ඔහු විසින් සිම්බාබ්වේ නායක Craig Ervine දැවී ගිය පසුව නුසුදුසු ප්‍රතිචාරයක් දැක්වීම නිසා එම චෝදනාවට ලක්ව තිබෙන අතර ඔහු සිය වරද පිළිගැනීම නිසා නැවත විමසීමක් අවශ්‍ය නොවන බව සඳහන් වෙනවා.  

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<