සමුගැනීමෙන් පසු නැවත පැමිණි Moeenට දඩ සහ දඬුවම් ලකුණු

The Ashes 2023

7190
​Moeen ali fined 25% of match fee

2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනයේ පන්දු යවමින් සිටිය දී විනිසුරු අනුදැනුමකින් තොරව සිය දෑත් වියලා ගැනීමට යම් ද්‍රාවණයක් භාවිත කිරීමේ වරදට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali හට දඩ නියම වී තිබෙනවා.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 73 වැනි අළුබඳුන තරගාවලියේ පළමු තරගය මේ දිනවල දී පැවැත්වෙන අතර එම තරගය සඳහා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී සිටි Moeen Aliව නැවත තම කණ්ඩායම වෙත කැඳවීමට එංගලන්තය පියවර ගත්තා.

එමෙන්ම මෙම තරගයේ දී Ali විසින් එංගලන්තයේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි දිනයේ දී ඔහු විසින් පිටියේ විනිසුරුවන් දැනුවත් කිරීමකින් තොරව සිය පන්දුව ග්‍රහණය කරන යවන වියළුම් කාරකයක් ඉසීම නිසා ඔහුට සිය තරග ගාස්තුවෙන් 25% දඩයක් සහ එක් දඬුවම් ලකුණක් නියම කර තිබෙනවා.

එමෙන්ම Moeen විසින් සිය වරද පිළිගනිමින් තරග තීරක Andy Pycroft විසින් යෝජනා කළ දඬුවම් ද පිළිගෙන තිබූ අතර, ඔහු මෙහි දී සිය අත වියලා ගැනීම සඳහා පමණක් මෙම ද්‍රව්‍යය භාවිත කර ඇති බවත් එමගින් පන්දුවට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් ICCය විසින් තහවුරු කර තිබෙනවා.

Moeen විසින් සිය නැවත පැමිණීමෙන් පසු පන්දු යැවීම ආරම්භ කළ දෙවැනි දිනයේ දී පන්දුවාර 29ක් යොමු කළ අතර එහි දී ලකුණු 124කට ඕස්ට්‍රේලියා ඉනිමේ කඩුලු 2ක් බිඳ හෙළීමට ද සමත් වුනා.

එම ඉනිමේ 89 වැනි පන්දුවාරයේ දී ඔහු මෙම වරද සිදු කර ඇති අතර, සිය ක්‍රියා කලාපය පිළිබඳ විනිසුරුවන් දැනුවත් නොකිරීම ඔහුගේ වරද බව ICC විසින් සිය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මේත් සමඟින් ICC චර්යාධර්ම පද්ධතියේ 1 මට්ටමේ වරදක් සිදු කිරීම නිසා ඔහුට එක් දඬුවම් ලකුණක් ද හිමි වනවා. එම ලකුණ ඉදිරි වසර දෙකක කාලය පුරාවට බලපැවැත්වෙනු ඇති. එමෙන්ම ඔහු එම කාලසීමාව තුල තවත් දඬුවම් ලකුණු තුනක් හෝ වැඩි ප්‍රමාණයක් ලබා ගතහොත් ඔහුට තරග තහනමක් එල්ල වීමේ අවදානමක් ද පවතිනවා.

2023 අළුබඳුන තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<