මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක්

පාපන්දු ලෝක කුසලානය 2026

829

2026 වසරේ දකුණු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලානය සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බව ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi ප්‍රකාශ කර තිබෙනවා.

චීන මාධ්‍ය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ,

“මම අවස්ථා ගණනාවක කියලා තියෙනවා මීළඟ පාපන්දු ලෝක කුසලානයට මම සහභාගි වෙයි කියලා හිතන්නේ නැහැ කියලා. 2022 ලෝක කුසලානය මගේ අන්තිම ලෝක කුසලානයයි.

මම මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා, ඒත් මම හිතන්නේ නැහැ මම මීළඟ ලෝක කුසලානයේ ඉදියි කියලා.”

මෙම ප්‍රකාශය ලොව පුරා සිටින Lionel Messiගේ ප්‍රේක්ෂකයින්ට ඉතා කණගාටුදායක පුවතක් වන අතර ආජන්ටිනාව නියෝජනය කරමින් ලෝක කුසලාන හතරක් ක්‍රීඩා කළ ඔහු පසුගිය වසරේ දී සිය පළමු ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුනා.

ඒ අනුව ඉදිරි ලෝක කුසලානය සඳහා Lionel Messi සහභාගී නොවන්නේ නම් ලොව බිහි වූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය මෙසේ අවසන් වන්නේ මතක ගොන්නක් සමඟයි.

මේ දිනවල චීනයේ බීජිං නුවර සිටින Lionel Messi ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව සුහද පාපන්දු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එම තරගය 68,000ක ප්‍රේක්ෂක සහභාගීත්වයක් යටතේ පැවැත්වීමට නියමිත අතර මෙම කණ්ඩායම් දෙක අවසන් වරට හමුවේ අවස්ථාවේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ගෝල 2-1ක ජයක් ලබා ගැනීමට ආජන්ටිනා ක්‍රීඩකයින්ට හැකි වුනා.

මෙම තරගයේ ටිකට් පතක වටිනාකම ද යුවාන් 4,800ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර චීන ප්‍රේක්ෂකයින් සුපිරි තරුව සිය දේශයේ ක්‍රීඩා කරනු දැකීමට වැඩි උනන්දුවක් පෙන්නුම් කරනවා.

මෑත කාලයේ වඩාත් කතාබහට ලක් වූ ක්‍රීඩකයෙකු වන Lionel Messi සිය පැරණි පාපන්දු ක්‍රීඩා සමාජය වන PSG කණ්ඩායමට සමු දී ඇමරිකානු ලීගය ක්‍රීඩා කරන Inter Miami කණ්ඩායම සමඟ එක් වීම කාගෙත් අවධානය යොමු වූ පුවතක් වුනා.

වසර 22ක් යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කළ ඔහු යුරෝපයෙන් පිටත පාපන්දු ලීගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

දෙස් විදෙස් පාපන්දු පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<