යුපුන් ජයග්‍රහණයකින් තරග වාරය අරඹයි

Firenze Sprint Festival 2023

585

කෙටි විවේකයකින් පසුව මෙම වසරේ සහභාගී වූ පළමු තරගයම ජයග්‍රහණයකින් අවසන් කිරීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකි වුනා.

ඉතාලියේ පැවති Firenze Sprint Festival තරගාවලිය සඳහා සහභාගී වූ ඔහු එම ඉසව්ව ජයග්‍රහණය කළේ තත්පර 20.60ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

මීටර් 100 ඉසව්වේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභී යුපුන් මෙවර තරග වාරය මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ආරම්භ කිරීම විශේෂත්වයක්.

යුපුන් පසුගිය වසරේ ද මීටර් 200 තරග කිහිපයකට සහභාගී වූ අතර එහි දී තත්පර 20.37ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළීමට ද ඔහුට හැකි වුනා.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තුවක් වන යුපුන් සිය රිද්මය පවත්වා ගනිමින් මෙවර තරග වාරය ආරම්භ කිරීම සතුටුදායක කරුණක් වන අතර මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ද ඔහුට බලාපොරොත්තු සහගත තරගාවලියක්.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට (තත්පර 9.96) හිමිකම් කියන යුපුන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා ද වෙනවා.

දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<