Chennai Super Kings කණ්ඩායමේ ප්රධානතම වේගපන්දු යවන්නා ලෙස කටයුතු කරන ශ්රී ලාංකික ක්රීඩක මතීෂ පතිරණට ඊයේ (27) දිනය එතරම් ම සුබදායී එකක් නොවූ අතර, ඔහු Rajasthan Royals කණ්ඩායමට එරෙහිව යැවූ පන්දුවාර 4 තුල ලකුණු 48ක් උදුරා ගැනීමට රාජස්තානය සමත් වුනා.
එම තරගයේ දී රාජස්තානය විසින් චෙන්නායි වෙත ලකුණු 203ක ඉලක්කයක් ලබා දීමට සමත් වුනේ චෙන්නායි වේගපන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමිනුයි. නමුත් රාජස්තානය ලබා දුන් අභියෝගය හඹා යාමට චෙන්නායි පිතිකරුවන් සමත් නොවීම නිසා අවසානයේ චෙන්නායි වෙත ලකුණු 32ක පරාජයක් උරුම වුනා.
මෙම තරගයේ දී චෙන්නායි නියෝජනය කළ මහීෂ් තීක්ෂණ විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 තුල ලකුණු 24ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනත්, මතීෂ පතිරණට එතරම් සාර්ථකත්වයක් ළඟ කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
නමුත් මෙහි දී සිය යොවුන් ක්රීඩකයා වෙනුවෙන් පෙනී සිටීමට චෙන්නායි නායක M.S.Dhoni ඉදිරිපත් වුනා.
“මට දැනෙන විදිහට පතිරණගේ පන්දු යැවීම ගොඩක් හොඳයි. ඔහු දුර්වල විදිහට පන්දු යැවුවේ නැහැ. මම හිතන්නේ ඔහු කෙතරම් හොඳින් පන්දු යැවුවා ද කියලා ලකුණු පුවරුවෙන් පිළිබිඹු වෙන්නේ නැහැ.”
ඊයේ දිනයේ මතීෂ වෙනදාටත් වඩා වේගයෙන් පිතිකරුවන්ගේ දෙපා මුලට බොහෝ පන්දු ප්රමාණයක් යැවීමට සමත් වුව ද, දවසේ වාසනාව ඔහු වෙනුවෙන් නොතිබූ නිසා ම ඒ බොහෝ පන්දු පිතිකරුවාගේ පිත්තේ පිටත දාරයේ වැදී හතරේ සීමාව වෙත ඇදී ගියා.
එමෙන්ම, මතීෂ විසින් යැවූ බොහෝ පන්දු පැයට කිලෝමීටර් 150 සීමාවේ නොකඩවා රඳවා තබා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණු කාරණයක්. තරග විස්තර විචාරකයින් පවා මතීෂගේ පන්දු යැවීම බොහෝ වෙලාවක් තිස්සේ ඇගයීමට ලක් කරමින් කතාබහේ නිරත වුනා.
- නිසි අවසරයකින් තොරව පුවත් පළ කිරීම නිසා Archer කුපිත වෙයි
- වනිඳුගේ සුපිරි පන්දු යැවීම අපතේ හරිමින් කල්කටාව ජය සොරා ගනියි
- මුම්බායි පිතිකරුවන් ඇෆ්ගන් දඟපන්දු හමුවේ ඇඹරෙයි!
- අක්සාර්ගේ දස්කම් මැද ඉතිහාසයේ අඩුම ලකුණ දිල්ලිය ආරක්ෂා කරයි
- දෝණිගේ සෙවනේ වැඩෙන මහීෂ් – මතීෂ නැවතත් සාර්ථකයි!
මතීෂගේ අවාසනාව මෙන් ම රාජස්තානය සිය පළමු පන්දුවාර 6 තුල දී ලබා ගත් ඉක්මන් ලකුණු ප්රමාණය ද මෙම පරාජයට හේතු වූ බවයි Dhoni විශ්වාස කරන්නේ.
“ලකුණු ප්රමාණය තරමක් වැඩියි. මුල් පන්දුවාර හයේ දී අපි වැඩියෙන් ලකුණු ලබා දුන්නා. ඒ වගේම කඩුල්ලත් පිතිකරණයේ යෙදෙන්න හොඳ විදිහේ එකක්.
ඉනිමේ මැද පන්දුවාරවල දී පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. නමුත්, පස් හය වතාවක් ම පන්දු පිත්තේ පිට දාරයේ වැදිලා හතරේ සීමාව කරා ගියා. ඒක තරගයට ලොකු බලපෑමක් එල්ල කළා. ඒ වගේ ම අපි ඉනිම ආරම්භයේ දී ඉක්මනින් ලකුණු ලබා ගැනීමටත් අපොහොසත් වුනා.”
මේ අතර Dhoni මෙන් ම ජයග්රාහී රාජස්තානයේ නායකයා Sanju Samson ද තරගයෙන් පසුව රාජස්තානය වෙනුවෙන් ජය ගෙන ඒමට සහය දුන් තරුණ ඉන්දියානු පිතිකරුවන් තිදෙනා වන Yashaswi Jaiswal, Dhruv Jurel සහ Devdutt Padikkal තිදෙනා ව විශේෂයෙන් අගය කිරීමට ලක් කළා.
මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවකාශය ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටීමට ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<