ඉන්දියානුවන්ගේ කටවල් වහන්න ගිය Brookට කට උත්තරත් නැති වෙයි

IPL 2023

1934
Harry Brook's previous statement backfired

Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමෙන් අනතුරුව Sunrisers Hyderabad ආරම්භක පිතිකරු Harry Brook නැවතත් අසාර්ථක පිතිකරණයක නියැලෙමින් සිටිනවා.

ඊයේ (24) Delhi Capitals සමඟ පැවැත්වුණු තරගයේ දීත් Brook විසින් ලකුණු 7ක් ලබා සිටිය දී Anrich Nortje හමුවේ දැවී ගියා. ඒ වන විටත් ඔහු පන්දු 14කට මුහුණ දී තිබූ අතර, මේ සමඟින් නැවතත් Brookගේ දුර්වල පිතිකරණය පිළිබඳ ක්‍රීඩා රසිකයින් අතරේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මීට පෙර Brook විසින් Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ නමුත්, ඉන්පසුව ඔහු ක්‍රීඩා කළ තරග දෙකේ දී ම ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යෑමට අසමත් වුනා. එමෙන්ම ඔහු සිය ශතකය ලබා ගැනීමට පෙර දී ද එතරම් සාර්ථක පිතිකරණයක නියැලීමට සමත් වුනේ නැහැ.

පන්දු 21කින් ලකුණු 13ක් ලබා ගනිමින් සිය මංගල IPL තරගයට දුර්වල ආරම්භයක් ලබා ගත් Harry Brook ඉන් පසුව ක්‍රීඩා කළ තරග දෙකේ දී පිළිවෙළින් ලකුණු 3කට සහ 13කට දැවී ගියා.

ඔහුගේ දුර්වල ආරම්භය නිසා ම IPL රසිකයින් වෙතින් ඔහුට විරුද්ධව ‍යම් කතාබහක් නිර්මාණය වූ අතර, ඔහු විසින් කොල්කටාවට එරෙහිව ලබා ගත් ශතකයෙන් අනතුරුව තමන්ට විරුද්ධව මත පළ කළ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සැර වාග් ප්‍රහාරයක් එල්ල කළා.

“අද රෑ මම හොඳින් කළ බව කියන බොහෝ ඉන්දියානු රසිකයින් ඉන්නවා. නමුත් ඔවුන් දින කිහිපයකට පෙර මට මඩ ගැහුවා. අවංකව ම ඔවුන්ගේ කටවල් වහන්න හැකි වීම ගැන මට සතුටුයි.”

ඔහු විසින් සිදු කළ මෙම ප්‍රකාශය ඔහුගේ විවේචකයින්ව තරමක් රිදවීමට සමත් වූ බවට සැකයක් නැහැ.

නමුත් අවාසනාවන්ත ලෙස සිය වාග් ප්‍රහාරය තරම් ශක්තිමත් පිතිකරණයක් එම තරගයෙන් පසුව නැවතත් Brookගෙන් දැක බලා ගැනීමට හැකියාවක් නොලැබුණු අතර ඔහු ක්‍රීඩා කළ අවසන් ඉනිම් දෙකේ ලකුණු සටහන් වී තිබුණේ 9ක් සහ 7ක් ලෙසයි.

දැන් නැවතත් Brook පෙර කී දෑ ම ඔහුට පාරාවලල්ලක් වී ඇති බව පෙනී යන්නේ සමාජ මාධ්‍ය ජාලා වල Brookට විරුද්ධව නැගෙන විරෝධය කෙමෙන් උත්සන්න වීමත් සමඟයි.

මේ එවැනි අදහස් කිහිපයක්;

“මම කිව්වා වගේම Nortje විසින් Brookව දවා ගත්තා. ඔහුට වේගවත් පන්දුවලට මුහුණ දෙන්න බැහැ. ඒ වගේ ම දඟපන්දුවටත් දුර්වලයි.

“අපි Brookට හිනා වෙමු. ඔහු කතා කරන්නේ ඉන්දියානුවන් ගැන. ‘ ඔවුන්ගේ කටවල් වහන්න හැකි වීම ගැන මට සතුටුයි.’

තරග 7ක දී එක හොඳ ඉනිමයි. ඒකට SRHට කෝටි 14ක් වියදම් වුනා. ඔහු හිතුවේ ඔහු යමක් කළා කියලා.”

“අපි ජීවත් වෙන්නේ Brookට කෝටි 13ක් ලැබෙන, Tilak Varmaට කෝටි 1.7ක් ලැබෙනා රටකයි.”

කෙසේ වෙතත් ඉදිරි තරගවල දී Brook නැවතත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත් නොවුනහොත් මෙම තත්වය තව දුරටත් නරක පැත්තට හැරෙනු ඇති බවත් අනුමාන කළ හැකියි.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<