Maxwell විසින් RCB මුල්පෙළ බිඳ වැටීම ආශීර්වාදයක් කර ගනී!

IPL 2023

4315
Maxwell made huge contribution

මෙවර IPL තරගාවලියේ Royal Challengers Bangalore නියෝජනය කරන Glenn Maxwell විසින් ඉතා සාර්ථක තරග වාරයක් ක්‍රීඩා කරමින් සිටින අතර, මේ වන විට ඔහු ක්‍රීඩා කළ තරග 7න් තුනක දී ම අර්ධ ශතක පවා වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

ඊයේ (23) Rajasthan Royals සමඟ පැවැත්වුණු තරගයේ දී ද සුපුරුදු ලෙස බැංගලෝර් ආරම්භය බිඳ වැටුණු අතර, Maxwell විසින් පිටියට පිවිසෙන්නේ බැංගලෝරයේ කඩුලු 2ක් ලකුණු 12කට බිඳ වැටී තිබූ අවස්ථාවක දීයි.

නමුත් එතැන් පටන් Faf du Plessis සමඟින් එක් වී Maxwell විසින් රාජස්තාන් පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී පිතිප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වුනා.

මෙවර තරගාවලියේ Maxwell – Du Plessis සුසංයෝගය අතර ඇති වුනු තෙවැනි ශතක සම්බන්ධතාව ද වාර්තා කරමින් ඔවුන් ඊයේ ලකුණු 127ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර එහි දී Maxwell විසින් පන්දු 44කින් ලකුණු 77ක් වාර්තා කිරීමට සමත් වුනා.

පිතිකරණ අනුපිළිවෙළේ අංක 4 ස්ථානයේ පිතිකරණයේ යෙදීම ඕනෑම මොහොතක තමන්ට පහසු දෙයක් බවයි Maxwell තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ.

“එතැන (අංක 4 ස්ථානයේ) පිතිකරණයේ යෙදීම මට ගැටලුවක් නෙවෙයි. ඉක්මනින් කඩුලු බිඳ වැටෙද්දී මම ඕස්ට්‍රේලියාව වෙනුවෙනුත් ඒ දේ කරලා තියෙනවා. ඔවුන් (RCB) විසින් මට මගේ විදිහට ක්‍රීඩා කරන්න ඉඩ ලබා දීලයි තියෙන්නේ.”

එමෙන්ම තරගයේ පළමු පන්දුවාර 6 තුල දී තම කණ්ඩායම ලබා ගත් ප්‍රගතිය තරගයේ ජයග්‍රහණය සඳහා ඉවහල් වුන බවයි Maxwell විසින් විශ්වාස කරන්නේ.

නමුත් බැංගලෝරය විසින් ඉනිම ආරම්භයේ ලබා ගත් ප්‍රගතිය ඉනිම අවසානයේ දැක ගැනීමට නොලැබුණු අතර, ඔවුන්ගේ අවසන් කඩුලු 7 ම ලකුණු 50ක් තුල බිඳ වැටුණා.

නමුත් ඔවුන්ගේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කරන Virat Kohli නම් විශ්වාස කරන්නේ තම කණ්ඩායම බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ ලකුණු ප්‍රමාණයක් කරා යෑමට සමත් වූ බවයි.

“Maxwell සහ Fafගේ ප්‍රහාරය චෙන්නායි තරගයටත් (Chennai Super Kings කණ්ඩායමට එරෙහිව ද ශතක සබඳතාවක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා සමත් වුනා) වඩා හොඳයි. අපි හිතුවේ ලකුණු 160ක් පමණ ප්‍රමාණවත් වේවි කියලා. නමුත් ඔවුන් පිතිකරණයේ යෙදුණු විදිහ නිසා අපිට ලකුණු 190 කරා ම යන්න පුළුවන් වුනා.”

එමෙන් ම රාජස්තානයේ ආරම්භක කඩුල්ල (Jos Buttler) ඉනිම ආරම්භයේ දී ම බිඳ හෙළීමට Mohommed Siraj විසින් සමත් වූ අතර, මේ වන විට තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වී සිටින්නේ ද (කඩුලු 13) ඔහුයි. Sirajගේ පන්දු යැවීම විශේෂයෙන්ම අගය කිරීමට ලක් කළ Kholi විසින් වැඩිදුරටත් අවධාරණය කළේ Josh Hazelwood ද බොහෝ විට ඔවුන්ගේ මීළඟ තරගයේ දී කණ්ඩායම සමඟ එක් වනු ඇති බවයි.

මේ අතර ඊයේ තරගයෙන් බැංගලෝරය හමුවේ රාජස්තානයට ලකුණු 7ක පරාජයක් අත් විඳීමට සිදු වූ අතර එහි දී ඉනිමේ අවසන් භාගයේ ලකුණු හඹා යාමේ දී Jason Holder වෙනුවට Ravichandran Ashwin පිළිබඳ ව විශ්වාසය තැබීමේ තීරණය රාජස්තාන් නායක Sanju Samson විසින් තරගයෙන් පසුව සාධාරණීකරණය කළා.

“Aswin මේ වගේ පීඩනය සහිත අවස්ථාවල ඔහුගේ අත්දැකීම් සමඟින් අපිට ජයග්‍රහණය ගෙනැවිත් තිබෙනවා. ඒ වගේ ම සාමාන්‍යයෙන් Hetty (Shimron Hetmeyer) අපි වෙනුවෙන් ඒ දේ කරනවා. නමුත් ඊයේ ඔහුගේ දවස නෙවෙයි.”

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙබ් අඩවිය හරහා ඔබට ලබා දී තිබෙනවා. එමෙන් ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<