වසර පහකට පසු ජෝන් හලංගම කුසලානය ත්‍රිත්ව විද්‍යාලයට

104 වැනි කන්ද උඩරට නිල්මහා සටන 2023

448
104වැනි කන්ද උඩරට නිල්මහා සටන 2023

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 104 වැනි වරටත් පැවති කන්ද උඩරට නිල් මහා සටන අද (22) අවසන් වුනා.

තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කරමින් වසර පහකට පසු ජෝන් හලංගම කුසලානය ජයග්‍රහණය කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලයේ ආරාධනාවෙන් පිටියට පිවිසි සාන්ත අන්තෝනි පළමු ඉනිම දුර්වල පිතිකරණ රටාවක් පෙන්නුම් කරමින් ලකුණු 110කට සීමා වුනා. කණ්ඩායම් නායක ලහිරු අබේසිංහ ලකුණු 35ක් ලබා ගනිද්දී, තිසර ඒකනායක ලකුණු 25ක් රැස් කළා.

තීරක රණතුංග සහ විභාවිත් ඇහැළේපොළ එක්ව කඩුලු පහක් දවා ගැනීමට සමත් වෙද්දී, මනුල කුලරත්න, තරන විමලධර්ම සහ දිනුක තෙන්නකෝන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 220ක් ලබා ගැනීමට සමත් වුනා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රහල් අමරසිංහ ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර මනුල කුලරත්න ලකුණු 44ක්, දිනූෂ පීරිස් ලකුණු 37ක් සහ කුසල් විජේතුංග ලකුණු 34ක් රැස් කළා.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කවීෂ පියුමල් කඩුලු 4ක් සහ ට්‍රෙවීන්  මැතිව් කඩුලු 3ක් දවා ගත්තා.

මහනුවරට ඇදහැළුණු වර්ෂාව නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදු වූ අතර සාන්ත අන්තොනි ක්‍රීඩකයින් දෙවැනි ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා.

සාන්ත අන්තෝනි විද්‍යාලය: 110 (35.4) ලහිරු අබේසිංහ  35, තිසර ඒකනායක 25, තීරක රණතුංග  3/34, විභවිත් ඇහැළේපොළ  2/20, මනුල කුලරත්න 1/3. & 38/3.

ත්‍රිත්ව විද්‍යාලය: 221/10 (42.3) රහල් අමරසිංහ  66, මනුල කුලරත්න 44, කවීෂ පියුමාල් 4/31, ට්‍රෙවීන් මැතිව් 3/43.

තරගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට.

විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<