CSK නිල නොලත් වීරයා මතීෂට දස දෙසින් ඇගයුම්!

IPL 2023

4632
IPL 2023

Royal Challengers Bangalore කණ්ඩායමට එරෙහිව ඊයේ (17) මතීෂ පතිරණ විසින් යැවූ අවසන් පන්දුවාර දෙක වෙනුවෙන් ඔහුට විශේෂ පැසසුම් ලැබෙමින් පවතිනවා.

Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ පැවැත්වුණු IPL තරගය පිතිකරුවන්ගේ ග්‍රහණයට සම්පූර්ණයෙන්ම නතු වූ නමුත්, සමස්ත තරගයේ ම තීරණාත්මක ම පන්දුවාර දෙකක් Bangalore කණ්ඩායමට ලකුණු 14ක් පමණක් ලබා දෙමින් යොමු කිරීමට මතීෂ විසින් සමත් වුනා.

මෙහි දී ලකුණු 227ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි Bangalore පිතිකරුවන්ට අවසන් පන්දු 18 දී ලකුණු 35ක් ලබා ගැනීමට නියමිත ව තිබුනත්, මතීෂ විසින් යොමු කළ තරගයේ 18 වැනි පන්දුවාරයේ දී ඔහු විසින් ලබා දුන්නේ ලකුණු 4ක් පමණයි.

එම පන්දුවාරයෙන් පසුව තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර නැවතත් තරගයේ අවසන් පන්දුවාරයේ දී පන්දුව අතට ගත් මතීෂ විසින් එම පන්දුවාරය තුල ලකුණු 10ක් පමණක් Bangalore පිතිකරුවන්ට ලබා දීමට වග බලා ගත්තා.

මෙම පන්දුවාර දෙක තුල දී එක් කඩුල්ල බැගින් ද බිඳ හෙළීමට ද මතීෂ සමත් වූ අතර, තරගය අවසානයේ ඔහුගේ පන්දු යැවීම සටහන් වුනේ පන්දුවාර 4ක දී ලකුණු 42කට කඩුලු 2ක් ලෙසයි.

තරගයෙන් අනතුරුව මතීෂ විසින් අවසන් පන්දුවාර වල (Death Overs) පන්දු යැවූ ආකාරය බොහෝ දෙනෙකුගේ විශේෂ අගය කිරීමට භාජනය වුනා.

විශේෂයෙන් ම හිටපු සුපිරි ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නකු සහ IPL ඉතිහාසයේ දැවැන්ත නමක් රැන්ඳූ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ විසින් අතීතයේ මාලිංග විසින් අවසන් පන්දුවාරවල දී පෑ වික්‍රමයන් නැවත සිහි ගන්වන බවයි බොහෝ දෙනා විසින් පවසන්නේ.

මතීෂගේ ක්‍රීඩා දිවිය ආරම්භයේ පටන් මාලිංගගෙන් ඔහු වෙත විශේෂ දිරිගැන්වීම් ද ලැබුණු අතර ඊයේ තරගය අවසානයේ දී ද මාලිංග මතීෂ වෙනුවෙන් Twitter සටහනක් තබා තිබුණා.

“සිත් ගන්නා සුළුයි මතීෂ, අවසන් පන්දුවාරවල දී ඔබ පීඩනය හැසිර වූ විදිහට ආදරය කළා. විශිෂ්ට ක්‍රියාවක්!”

එම සටහන වෙනුවෙන් මතීෂ ද පසුව ප්‍රතිචාර දක්වමින් මාලිංගට ස්තුතිය පළ කර තිබුණා.

එමෙන්ම මාලිංගට අමතරව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක Harsha Bhogle, Ian Bhishop මෙන් ම හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Irfan Pathan වැනි අයත් මතීෂගේ පන්දු යැවීම අගය කර තිබුණා.

“Dhoniට අතීතයේ මීට පෙර හොඳ ආරක්ෂක පන්දු යවන්නන් හිටියා. නමුත් පතිරණ තුල හොඳ පන්දු යවන්නකුගේ ලක්ෂණ තියෙනවා.” – Harsha Bhogle

“ඒක පරිපූර්ණත්වයට ඉතා ආසන්න පන්දුවාරයක්.” – Irfan Pathan

“විශිෂ්ට අවසන් පන්දුවාරයක් යැවූ තරුණ පතිරණ ගොඩක් කැපී පෙනුණා.”හිටපු ඉන්දීය නායිකා Mithali Raj

මීට අමතරව මතීෂගේ පන්දු යැවීම තවත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ඇගයීමට මේ අයුරින් පාත්‍ර වී තිබුණා.

ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මතීෂ අනාගතයේ දී Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳ ආයෝජනයක් වනු ඇති බවයි.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. එමෙන්ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<