Rohit දිනන්න හේතු කියද්දී, Warner පරදින්න හේතුව කියයි

IPL 2023

319

2023 IPL තරග වාරයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට Mumbai Indians කණ්ඩායම ඊයේ (11) සමත් වූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ Delhi Capitals කණ්ඩායම තවමත් මෙවර තරගාවලියේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැහැ.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Delhiය විසින් ලබා දුන් ලකුණු 173ක අභියෝගය කඩුලු 4ක් පමණක් දැවී තිබිය දී හඹා යෑමට Mumbai Indians කණ්ඩායම සමත් වූ අතර පන්දු 45කින් ලකුණු 65ක් වාර්තා කිරීමට සමත් වෙමින් Mumbai ජයග්‍රහණයට මාවත විවර කර දුන් Mumbai නායක Rohit Sharma තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වුනා.

“තරගය දිනපු එක තමයි වැදගත් ම දේ. පළවෙනි තරගයේ සිට ම අපි ගොඩක් උත්සාහ කළා. පළමු ජයග්‍රහණය කොහොමත් විශේෂයි.”

තරගයෙන් අනතුරුව සිය පළමු ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ Rohit විසින් මෙම ප්‍රකාශය සිදු කළ අතර, තවදුරටත් ඔහු සඳහන් කළේ තරගය පැවැත්වුණු තණතිල්ල තරමක් මන්දගාමී එකක් වූ බැවින් දඟපන්දු යවන්නන් වැඩි වශයෙන් භාවිතා කිරීමට තමන් පෙලඹුණු බවයි.

ඔහුගේ එම තීරණයට හොඳ සාධාරණයක් ඉටු කිරීමට Piyush Chawla විසින් සමත් වුනේ Delhi ඉනිමේ කඩුලු 3ක් ම බිඳ හෙලමිනුයි.

එමෙන්ම Mumbai Indians ක්‍රීඩා කළ තෙවැනි තරගයෙන් සිය පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී Delhi Capitalsට ඊයේ නොකඩවා සිය සිව්වැනි පරාජයත් උරුම කර ගැනීමට සිදු වුනා.

ඒ අනුව තවමත් මෙම තරගාවලියේ එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට Delhiය සමත් වී නැහැ.

“පසුගිය IPL තරග තුන ම අති විශිෂ්ටයි. අද අපි පරාජය වුනත්, අපේ ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළා.”

ඊයේ දිනයේ තවත් IPL අර්ධ ශතකයක් සිය වාර්තා ගොන්න අතරට එකතු කර ගැනීමට සමත් වූ Delhi නායක David Warner තරගයෙන් අනතුරුව සිය පරාජය පිළිබඳ අදහස් දැක්වූවේ ඒ අයුරිනුයි.

මෙම තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා Mumbai Indians හට ලබා ගැනීමට අවශ්‍ය ව තිබුණේ ලකුණු 5ක් පමණක් නමුත් Delhiයේ Anrich Nortje විසින් තරගය ඉනිමේ අවසන් පන්දුව තෙක් ම රැගෙන ඒමට සමත් වුනා.

Nortjeගේ සහ Mustfizurගේ පන්දු යැවීම පිළිබඳ ව ද Warner විසින් ඉතා ප්‍රශංසාත්මකව කතාබහ කළ අතර, තව ද තරගාවලියේ මෙතෙක් ඔවුන් ක්‍රීඩා කළ තරග හතර පුරාවට ම සිය පිතිකරණ අංශයේ ඇති වූ දුර්වලතා පිළිබඳ ව ද ඔහුගේ අවධානය යොමුව තිබුණා.

මෙයට පිළියමක් ලෙස Delhiය වෙනුවෙන් ඊයේ වේගවත් අර්ධ ශතකයක් ලබා ගත් Axar Patel මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනා අතරට පැමිණිය යුතු බව ද Warner විසින් සඳහන් කළා.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<