අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වෙන “සුනිල සංග්රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අප්‍රේල් 01 සහ 02 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙරට මිශ්‍ර පාසල් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරග අතරින් පැරණිතම තරගය වන මෙය මෙවර පැවැත්වෙන්නේ 54 වැනි වරටයි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය 5 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක කවීෂ කල්පණ විසින් මෙහෙයවනු ලබන අතර ධර්මාශෝක විද්‍යාලය දෙවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක සෙනිත හැළඹගේ විසින් මෙහෙය වනු ලබනවා.
සුනිල සංග්රාම තරග ඉතිහාසය
දෙවිදුහල් අතර පැවැත්වෙන මෙම තරගයේ ආරම්භය සිදු වෙන්නේ 1963 වසරේ දී. ඒ අනුව මංගල මහා තරගයේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එම්. එස්. ජේ. වීරබන්සා ද, ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් සුනිල් සන්තියාගෝ ද නායකත්වයේ කිරුළ දරනවා. මංගල තරගයේ දී ම ජයග්‍රහණය හිමි කර ගන්නා ධර්මාශෝක විද්‍යාලය, සුනිල සංග්රාම ඉතිහාසයේ මෙතෙක් තරග 13ක ජයග්‍රහණ හිමිකර ගනිමින් පෙරමුණ ගෙන සිටිනවා.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු වරට සුනිල සංග්‍රාමයක ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වෙන්නේ 1966 වසරේ දී එන්. යූ. අමරදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි. ඉන් අනතුරුව ඔවුන්ට ජයග්‍රහණයක පහස විදීමට ලැබෙන්නේ ඊට වසර 56කට පසුව පසුගිය වසරේ දී ශෙහාන් වික්‍රමසිංහගේ නායකත්වය යටතේයි.
සුනිල සංග්රාම ඉතිහාසයේ පිතිකරුවෙක් ඉනිමක දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ ගෞරවය දිනා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග. ඔහු 2004 වසරේ දී ලකුණු 169ක් ලබා ගනිමින් එකී වාර්තාවට හිමිකම් කියනවා. ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එකී වාර්තාවේ හිමිකරු වන්නේ 2016 වසරේ දී අමිඳු මෙන්ඩිස් වාර්තා කළ ලකුණු 116 යි.
පන්දු යැවීමේ දී ඉනිමක හොඳම පන්දු යැවීම ධර්මාශෝක විද්‍යාලයේ එස්. ඔස්මන් සතු කර ගන්නවා. ඔහු 1974 වසරේ දී ලකුණු 29කට කඩුලු 10ක් දවා ගනිමින් මෙකී වාර්තාවට හිමිකම් කියද්දී, ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එකී වාර්තාවට හිමිකම් කියන්නේ රංජිත් ප්‍රියන්ත. ඔහු ලකුණු 37කට කඩුලු 7ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවට එක් වෙනවා.
තරගයක හොඳම පන්දු යැවීමේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ පී. මිල්ටන් 1985 දී ලකුණු 82කට ලබා ගත් කඩුලු 12 ඉදිරියෙන් තිබෙන අතර ධර්මාශෝකය වෙනුවෙන් එය සටහන් වන්නේ ගයාන් සිරිසෝම 2001 දී ලකුණු 108කට ලබා ගත් කඩුලු 11යි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier A කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී දේවානන්ද විද්‍යාලය මෙවර තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමින් දක්ෂතා දැක්වූවා.
එහි දී තරගාවලියට අයත් තරග 5න් 3ක පූර්ණ ජයග්‍රහණ හිමි කර ගන්නා ශ්‍රී දේවානන්ද ක්‍රීඩකයෝ එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරන ලද අතර එක් තරගයකින් පරාජය වෙනවා.
අර්ධ අවසන් පූර්ව වටයේ දී පිළියන්දල මධ්‍ය විද්‍යාලයට එරෙහිව ජය ලබා ගන්නා ලද ශ්‍රී දේවානන්ද ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ දී කළුතර සිරිකුරුස විද්‍යාලය වෙතින් පරාජය ලබමින් තරගාවලියෙන් ඉවත් වෙනවා.
කෙසේ වෙතත් තරගාවලිය පුරා දක්ෂතා දක්වමින් තම කණ්ඩායම මෙහෙයවීමේ වගකීමෙන් බැඳී සිටින නායක කවීෂ කල්පණ කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහිත ක්‍රීඩකයා ලෙසින් කාගේත් විශ්වාසය දිනා සිටිනවා.
පසුගිය වසරේ සුනිල සංග්‍රාමයේ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ කවීෂ මෙවර තරගාවලියේ දී වමත් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසෙමින් මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් සමඟින් තරග 12ක ඉනිම් 20ක දී ලකුණු 570ක් ලබා සිටිනවා.
දකුණතින් වේගපන්දු යවන කවීෂ මේ දක්වා ලබා සිටින කඩුලු සංඛ්‍යාව 29ක්. එහි දී ඔහුගේ හොඳම දක්ෂතාව වන්නේ කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව ලකුණු 31කට ලබා ගත් කඩුලු 5යි.
ඔහුට අමතරව ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ අනෙක් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ වසර 56කට පසුව සුනිල සංග්‍රාමය ශ්‍රී දේවානන්ද විද්‍යාලය සතු කළ නායකයා ද වන ශෙහාන් වික්රමසිංහයි. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 638ක් සහ කඩුලු රකින්නෙක් ලෙසින් ද කටයුතු කරමින් දවා ගැනීම් 29කට දායක වී සිටිනවා.
ඊට අමතරව තෙවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක මිතිල ප්‍රනාන්දු කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කැපී පෙනෙන ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වේ. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 761ක් ලබා ඇති අතර එය ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන් කර ගන්නා ලද දක්ෂතාව ලෙසින් ද හැඳින්වේ. ඔහුගේ හොඳම ඉනිම ලෙසින් සටහන් වෙන්නේ කළුතර විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 121යි.
සිව්වැනි වසරේ වර්ණලාභි සිතුම් සත්සිඳු මෙවර තරගාවලියේ දී ලකුණු 342ක් සහ කඩුලු 32ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි. වමතින් දඟපන්දු යවන සිතුම් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 43කට කඩුලු 7ක් දවා ගනිමින් තම ඉහළ ම දක්ෂතාව වාර්තා කළා.
කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් විශ්වාසය දිනා සිටින්නේ වමතින් දඟපන්දු යවන වනිත් ද සිල්වා. ඔහු මේ වෙද්දී කඩුලු 37ක් දවාගෙන ඇති අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 50කට ලබා ගත් කඩුලු 6යි.
ඔවුන්ට අමතර ව තෙවැනි වසරට ක්‍රීඩා කරන මයුර මල්ශාන් ලකුණු 322ක් ලබා ගනිමින් ද සහ ලකුණු 206ක් ලබා සිටින චමෝද් ද සිල්වා ද සුනිල සංග්‍රාමය වෙනුවෙන් ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායම ශක්තිමත් කිරීමට බලා සිටින පිතිකරුවෝ වේ.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය: කවීෂ කල්පණ (නායක) ශෙහාන් වික්‍රමසිංහ, මිතිල ප්‍රනාන්දු, වනිත් ද සිල්වා, සිතුම් සත්සිඳු, චමෝද් ද සිල්වා, මයුර මල්ෂාන්, විහඟ මලිත්, කවිශ් හංසක, ලහිරු කාවින්ද, සඳලු රශ්මික, රවිඳු ද සිල්වා, මිනිඳු ද සිල්වා, කුමුදේශ් ද සිල්වා, දනිඳු ඉනෝෂ, රසිඳු කුමාර, සවීන් තියුණුවන්, ලුදීශ නිම්සර.
- වසර 6කට පසුව ඇතුගල්පුර එක්දින මහා තරගයේ ජය මලියදේවයට
- ශානික්යගේ නායකත්වයේ ඉනිම අපතේ යයි; T20 ජය ඉසිපතනයට!
- ආදරවන්තයින්ගේ එක්දින තරගයේ ජය රිච්මන්ඩ් විද්‍යාලයට
- වෙස්ලි – බෙනඩික්ට් සීමිත ඕවර ගැටුමේ ජය බෙනඩික්ට් විද්‍යාලයට !
- තියුණු ටෙස්ට් තරගයක අසිරිය සමඟින් සුලෝහිත සංග්‍රාමය නිමා වෙයි!
ධර්මාශෝක විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ Tier B කාණ්ඩය නියෝජනය කරන ධර්මාශෝක විද්‍යාලය, තරගාවලිය අයත් තරග 5න් පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක් වාර්තා කරන ලද අතර එක් තරගයක දී සම්පූර්ණ පරාජයක් ද සහ තවත් පළමු ඉනිමේ පරාජයක් සමඟින් ද තරග අවසන් කරමින් සිව්වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙමින් තරගාවලිය අවසන් කරනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන නායක සෙනිත හැළඹගේ වමත් ආරම්භක පිතිකරුවෙක් ලෙසින් සහ දකුණතින් පිට දඟපන්දු යවමින් කණ්ඩායමට එක්වෙනවා. මෙවර තරගාවලියේ දී ලකුණු 408ක් ලබා සිටින අතර පළාත් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්.
කණ්ඩායමේ උප නායකයා සේ ම කඩුලු රකින්නා ද වන රන්දුල් සමරහේවා ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායමේ විශ්වාසය දිනා සිටින ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා ලකුණු 587ක් ලබා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතර පළමු අසුන වෙන් කර ගන්නවා.
කණ්ඩායමේ ශතකලාභී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් චානක ජනාංගට හිමි වෙන්නේ ප්රමුඛ ස්ථානයක්. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී මාතර රාහුල විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතකයක් සමඟින් ලකුණු 286ක් සහ කඩුලු 22ක් ලබා සිටිනවා.
ඔවුන්ට අමතර ව පළමු වසරට මහා ක්‍රිකට් තරගයට එක් වෙන චානුක ජයශ්‍රී ලකුණු 348ක් ලබා ගනිමින් ද දෙවැනි වසරේ වර්ණලාභී මානස පවරින්ද ලකුණු 276ක් ලබා ගනිමින් ද පිතිකරුවන් ලෙසින් ධර්මාශෝක විද්‍යාලයේ විශ්වාසය දිනා සිටිනවා.
කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ දකුණතින් මද වේගපන්දු යවන දෙවැනි වසරට වර්ණලාභී පැතුම් මලිත. ඔහු මේ දක්වා කඩුලු 42ක් ලබා ගනිමින් තම කණ්ඩායම හා එක් ව සිටිනවා.
ඊට අමතරව වමතින් දඟපන්දු යවන ඉශාන් අනුරාධ, දකුණතින් පිට දඟපන්දු යවන අමිල් අගස්ති සහ වමතින් දඟපන්දු යවන ජිතිර සංසික ද ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් සුනිල සංග්‍රාමයේ දී හමුවෙන පන්දු යවන්නෝ ලෙසින් සැලකිය හැකියි.
ධර්මාශෝක විද්‍යාලයීය සංචිතය: සෙනිත හැළඹගේ (නායක), රන්දුල් සමරහේවා (උප නායක), චානක ජනාංග, මානස පවරින්ද, පැතුම් මලිත, ඉෂාන් අනුරාධ, චානුක ජයශ්‍රී, ආකාශ් මෙන්ඩිස්, සෙනුර සඳයුරු, ජිතිර සංසික, අමිල් අගස්ති, කවීෂ මතීෂ්, සුහස් ද සිල්වා, චන්දූප කවීෂ, පසිඳු නදීශ්, ඔෂාන් මිහිරාන්.
පසුගිය වසරේ ජයග්‍රාහී උණුසුම තව දුරටත් තබා ගැනීම අරමුණු කර ගනිමින් තරග පිටියට පිවිසෙන ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයන්ටත් අහිමි වූ කුසලානය නැවත දිනා ගැනීමේ අරමුණ ඇතිව තරග පිටියට පිටියට පිවිසෙන ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ටත් ThePapare.com හී සුබ පැතුම්!
දෙවිදුහල් අතර පැවැත්වෙන “හැළඹගේ සුමනාදාස අනුස්මරණ කුසලාන” එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 08 වැනිදා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
සුනිල සංග්‍රාමයේ උණුසුම ඒ ආකාරයෙන් ම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<