වසර 5කට පසුව පැරා පිටියට පිවිස රන් දිනූ ජයලත්

912

ඩුබායි රාජ්‍යයේ පැවති Grand Prix මලල ක්‍රීඩා තරගාවලියේ දී රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු සාජන් මේජර් අනිල් ප්‍රසන්න ජයලත් වසර 5ක සංක්‍රාන්ති සමයක් නිමා කරමින් නැවත මලල ක්‍රීඩා පිටියට පිවිසෙමින් T42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පසුගිය දා සමත් වුනා.

අවුරුදු ගාණකට පස්සේ තරගයකට සහභාගී වෙලා රටට රන් පදක්කමක් දිනා දීමට හැකි වීම ගැන ගොඩක් සතුටු වෙනවා. මේ තරගයේ දී මට අවශ්‍ය වුනේ ප්‍රතිවාදීන්ට තරගයක් දෙන්න පමණයි. මොකද ඒ වෙද්දී මමත් සමඟ දුවන අය ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් ගැටෙන විදිහ දන්නේ නැහැ. අලුත් මූණු ටික මට වඩා තරුණ අය. ඒ නිසා හිතේ ගැස්මක් නොතිබුණාමත් නෙමේ. නමුත් තරගය ආරම්භයේ දී ම මට තේරුණා මගේ දක්ෂතාත් සමඟින් තරගය දිනන්න පුළුවන් කියලා. පටන් ගත්ත ගැම්මෙන් ම තරගය ඉවර කළා. පරණ ජවයෙන් ම තරගය අවසන් කරන්න ලැබුණ එක ගැන සතුටු වෙනවා,” අනිල් ප්‍රසන්න ජයලත් ThePapare.com සමඟ පැවසුවා.

ජයලත් තම මලල ක්‍රීඩා ජීවිතයේ පළමු අදියරට සමු දෙන්නේ T42 කාණ්ඩයේ මීටර් 200 ඉසව්වේ ආසියානු වාර්තාවේ හිමිකාරිත්වය ද තමන් සතු වෙද්දී.

දැන් වගේ නෙමේ ඒ දවස්වල අපිට ගොඩක් දුෂ්කරතා තිබුණා. බස්වල පුහුණුවීම්වලට යන්න ඕන, විශේෂ විටමින් වර්ග ගන්න ඕන. ඔය දේවල් මම කළේ මගේ යුද හමුදා පඩියෙන්. මේ දේවල් ගැන බලද්දී මම යුද හමුදා පඩියෙන් කරල තිබුණේ ක්‍රීඩා කරපු එක විතරයි. ඒ වෙද්දී මට බබාලා දෙන්නෙක් හිටියා. අපි කපරාරුවත් නොගහපු කාමර දෙකක හිටියේ. ගෙවල් දොරවල් හදා ගන්න දේවල්, පවුලේ නඩත්තුව ගැන කල්පනා කරල මම යුද හමුදාවෙන් ඉවත් වුනා.”

ඒ අනුව වසර 13ක යුද හමුදා සේවයට තිත තබන ජයලත් 2017 වසරේ දී ඉන් ඉවත් වන්නේ තමන්ගේ ක්‍රීඩා ජීවිතයට ද තිත තබමින්.

“යුද හමුදා පඩියයි, පැන්ෂන් එකයි එක්ක බැංකු ණයක් අරගෙන සිල්ලර කඩයක් දා ගත්තා. ඒත් එක්ක ම මල් පෝචිචි ගැහුවා. ඒකත් ලේසි වුනේ නැහැ. ඔය වැඩේ ටික කාලයක් කරගෙන ඉන්න කොට මමත් සමඟ යුද හමුදාවේ සිටි යාළුවෝ කිහිප දෙනෙක් ම කිව්වා නැවත දුවන්න පටන් ගනිමු කියලා. ඒත් ඉතිං මගෙන් ඊට එච්චර කැමැත්තක් තිබුණේ ම නැහැ. මොකද මම හිතාගෙන හිටියේ දැන් මට ක්‍රීඩා කරන්න බැහැ කියලා.”

ඊටත් වඩා ජයලත්ට තිබූ ලොකු ම ප්‍රශ්නය වුනේ තම පුහුණුකරු වූ රෝහිත ප්‍රනාන්දු මහතාට මුහුණ දීමේ ප්‍රශ්නයයි. ඔහුගෙන් තොර වෙනත් කෙනෙක් පුහුණුකරු ලෙසින් තෝරා ගැනීමට ද ජයලත්ගේ කැමැත්තක් තිබුණේ නැහැ.

මම සර්ලටවත් නොකියයි යුද හමුදාවෙන් එළියට බැස්සේ. අම්පාරට වෙලා හිටපු අවුරුදු 5ට ම රෝහිත සර්ටවත් කතා කළේ නැහැ. මම ඔවුන්ට ලොකු වරදක් කළා කියන හැඟීමකුයි මට තිබුණේ.”

මේ පසු තැවිල්ලත් සමඟ ක්‍රීඩා කරම් දෝ නොකරම් දෝ කියන සිතුවිල්ලේ අතරමං ව සිටිය දී එක් දෛවෝපගත දිනයක දී ජයලත්ට දුරකතන ඇමතුමක් එනවා.

මට හේරත් සර් කතා කළා. සර්ගෙ කටහඬ ඇහෙද්දී මම ගොලු වුනා. ඔක්කොම අමතක කරලා ආයිමත් ක්‍රීඩා කරමු කියල සර් කියද්දී මට බැහැ කියන්න බැරි වුනා.”

එතැන් සිට ය ජයලත්ගේ මේ දෙවැනි ගමන.

ඇත්තට ම ගොඩක් සතුටු වෙනවා නැවතත් ක්‍රීඩා පිටියට ඇවිත් දක්ෂතා දැක්වීමට ලැබීම ගැන. මේ වෙනුවෙන් මාව උනන්දු කළ සෑම කෙනෙක්ට ම මේ අවස්ථාවේ දී මගේ ගෞරවය පිරිනමනවා. විශේෂයෙන් ම මගේ බිරිඳ, දරුවන් සහ පවුලේ සෑම කෙනෙක්මත් මා සමඟ සිටින එක මට විශාල ශක්තියක්.”

මේ වෙද්දී වයස අවුරුදු 37ක් වෙන ජයලත්ගේ ගම අම්පාර උහන ප්‍රදේශය. පාසල් ගියේ  වෑරන්කැටගොඩ මහා විද්‍යාලයට.

ඒ කාලේ එක දිගට ක්‍රීඩාවක් කරනවා කියන එක අපට සිහිනයක් වගේ. නිවාසාන්තර තරග තියෙන කාලෙට දුවන එකයි, දුර පනින එකයි කළා. එතැනින් එහාට කිසිම තරගයකට සහභාගී වෙලා නැහැ. පාසල් යන කාලේ ඉගෙන ගන්න එකට තමයි වැඩිපුර කාලය යෙදෙව්වේ.”

ජයලත්ලාගේ පාසල් කාලයේ යැපුණේ දෙමාපියන් කළ ගඩොල් කැපිල්ලෙන් ලැබුණ මුදලින්. තාත්තා වයි. පී. ප්‍රේමදාස සහ අම්මා එම්. කේ ගුණවතී සමඟ ජයලත්ගේ පවුලේ තිදෙනෙක්. අයියා සමන් ජයකොඩි, අක්කා නිලූකා දමයන්ති සහ පවුලේ බඩපිස්සා වුනේ ජයලත්.

පාසල් යන කාලේ අපි ඇති තරම් දුක් වින්ඳා. අම්මත් තාත්තත් අපිව උස් මහත් කළේ ගඩොල් කපලා, එහෙමත් නැත්නම් මොකක් හරි කුලියක් කරලා. අපිත් මාරුවෙන් මාරුවට ඒවට උදව් වුනා. නමුත් ඒකට එයාලා කැමති වුනේ නැහැ. ගෙදර ගිහින් පාසල් වැඩ කරගන්න කියලා එතැනින් එළවනවා. මේ නිසා අපි පාසල් පොත් පත්වලට වැඩියෙන් නැඹුරු වුනා. මගේ ආසාව තිබුණේ ගුරුවරයෙක් වෙන්න.”

එහෙම ඉගෙන ගත්ත ජයලත් උසස් පෙළ සමත් වූවත්, විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබන්නේ නැහැ. මේ නිසා දෙවැනි වරටත් උසස් පෙළ විභාගයට සූදානම් වුනා.

ඔය අතර කාලයේ ගෙදර ආර්ථික තත්ත්වය වඩාත් දරුණුවට ම දැනුණා. මම ඉගෙනිල්ල පැත්තකට දාල රස්සාවක් සෙව්වා. අම්ම නම් ඒකට කොහෙත්ත ම කැමති වුනේ නැහැ. දෙවැනි පාර විභාගෙට සූදානම් වෙන්න, පුළුවන් විදිහට කරගමු කියල තමයි කිව්වේ. ඒත් අපි මුහුණ දුන්න ප්‍රශ්නත් එක්ක ඉගෙන ගැනිල්ල ගැන හිතන්නවත් හැටියක් තිබුණේ නැහැ.”

ගුරුවරයෙක් වෙන්න පෙරුම් පුරපු ජයලත්, මේ නැති- බැරිකම නිසා ම යුද හමුදාවට බැඳෙන්න තීරණය කරනවා.

පත්තරේ යුද හමුදා කමාන්ඩෝ බලකායට ආධුනිකයන් බඳවා ගන්නවා කියන දැන්වීමක් තිබුණා. ඒකෙ හිටපු සෙබළුන්ගේ පිංතූර දැකල හිතට පුදුම ගැම්මක් ආවා. ලොකු ආසාවක් ඇති වුනා. ඉල්ලුම් පත්‍ර දාල සම්මුඛ පරීක්ෂණයට ගනේමුල්ල හමුදා කඳවුරට ගියා. මගේ අධ්‍යාපනය සහතික බලපු නිලධාරීන් මට කිව්වා, ඊට මාස කිහිපයකට පස්සේ නිලධාරීන් ගන්නවා ඒකට අයැදුම් කරන්න කියලා. මට එච්චර බලාගෙන ඉන්න බැහැ. සම්මුඛ පරීක්ෂණයට ආවෙත් අමාරුවෙන් සල්ලි හොයාගෙන. මට කොහොම හරි ඕන වුනේ එදා ම හමුදාවට බැඳෙන්න. මම අඬල වගේ තමයි කොමාන්ඩෝ එකට ආධුනික සෙබළෙක් ලෙසින් බැඳුණේ.”

2004 වසරේ දී එසේ යුද හමුදාවට එක් වූ ජයලත් බූස්ස කඳවුරේ දීත් සහ කුඩාඔය කඳවුරේ දීත් සෙබළ පුහුණුවීම් ලබනවා. පුහුණුවෙන් පසු මන්නාරම, සිංහපුර, තොප්පිගල, මාවිල්ආරු වැනි යුද්ධය දරුණු ලෙස පැවති ප්‍රදේශයන්වල සේවයටයි ජයලත් එක් වෙන්නේ.

“2009 අවුරුද්දේ පෙබරවාරි මාසයේ පුදුකුඩුඉරුප්පුවල දී වෙඩි වදින තුරු ම හිටියේ යුද්ධයත් එක්කමයි. එතකොට යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න. මට කැලෑ සටන් ගැන අත්දැකීම් වැඩියි. ඉහළ නිලධාරීන් පවා සමහර වෙලාවට මගෙන් තමයි ඒ ප්‍රදේශ ගැන අහන්නෙ. අපි ඒ තරමට ම යුද්ධයක් එක්ක හිටියේ. අනතුරු වුන දවසේ අපි දෙපැත්තකින් යුද්ධයට මැදි වුනා. ඔවුන් එක දිගට වෙඩි තිබ්බා. මගේ දණ හිසට ඉහළට වෙඩි වැදුණා. අස්ථි බිඳිලා කකුල මස්වලින් එල්ලිලා තිබුණේ.”

මට ඒ වෙලාවෙත් බයක් දැනුණේ නැහැ. අත-පය කැඩෙන එක දැකල ම ගාණක් නැහැ. යංතම් හරි බයක් ඇති වුනා නම් ඒ ගෙදර ගැන හිතලා. ඒත් වෙන කරන්න දෙයක් නැහැ, උන්ට අහු වුනොත් සිය දිවි හානි කරගන්නවා හිතා ගෙන හිටියේ. මට නැගිටින්න, ඇවිද ගන්න බැහැ. කැඩුණ කකුලත් ඇඳගෙන තට්ටමෙන් පැය ගාණක් අපේ අය ඉන්න පැත්තට ආවා.”

ජයලත් පවසන ආකාරයට වෙඩි වැදීමෙන් අනතුරුව පැය 14කට වැඩි කාලයක් ඔහු එසේ ගත කර තිබෙනවා. එම සිදුවීමෙන් පසුව අවුරුද්දකුත් මාස 7ක කාලයක් ජයලත් ආබාධිතයෙක් ලෙසින් ප්‍රතිකාර ලබනවා.

යන්තම් අත් වාරුවෙන් ඇවිදගන්න පුළුවන් වෙද්දී මම කඳවුරට එනවා. ඇවිත් පරිගණක පුහුණුකරුවෙක් ලෙසින් ඉගෙන ගන්න ගමන් පොත්පත් තබන වගේ වැඩි මහන්සියක් නැතිව කරන්න පුළුවන් දේවල් කරනවා.”

එසේ සේවය කරන අතරතුර දී ගනේමුල්ල රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ සභාපති අණදෙන නිලධාරි කර්නල් දීපාල් හේරත් මහතාගේ දැනුම් දීම මත ජයලත් ක්‍රීඩා කිරීම සඳහා යොමු කෙරෙනවා.

එක ම දේ කරද්දී එපා වෙලා තිබුණේ. ලැබුණ අවස්ථාව අනුව ගම්පහ ක්‍රීඩාංගණයට ගියා. මුලින් නම් ලොකු බයක් දැනුණා කැඩුණ කකුල නැවතත් කැඩෙයි ද කියලා. එතන දී මගේ පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු මහතා තමයි මගේ බය නැති කරලා, මාව මේ තත්ත්වයට ගෙනාවේ.”

ජයලත් ආබාධිත තරගාවලියක තමන් සහභාගී වූ පළමු ඉසව්වෙන් ම ජල්ලි අල්ලන්නේ පළමුවැනියා වෙමින්. ඒ 2013 වසරේ යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී. ඒ වෙද්දී ජයලත් පුහුණුවීම් ආරම්භ කර අවුරුද්දක් පමණ කාලයක් වනු ඇති බවයි ජයලත් පවසන්නේ.

ඊට පසුව ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේත් මීටර් 100 ඉසව්වේ පළමුවැනියා වුනා. එම තරගයේ මගේ තරග නිමා කළ කාලය අනුව චීනයේ ජාත්‍යන්තර පැරා විවෘත තරගාවලියට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එම තරගාවලියේ දී දක්ෂතා මත තමයි 2014 ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම ඒකට සුදුසුකම් ලබා ගත්තා.”

ඒ අනුව ජයලත් තම මංගල ආසියානු පැරා තරගාවලියට සහභාගී වෙමින් මීටර් 100 ඉසව්ව මෙන් ම මීටර් 200 ඉසව්වේ ද රන් පදක්කම් දිනා ගන්නවා. එහි දී දුර පැනීමේ ඉසව්වට ද සහභාගී වන ජයලත් ඉන් රිදී පදක්කම දිනා ගන්නවා.

එම දක්ෂතාත් සමඟින් ජයලත්, 2015 වසරේ දී ප්‍රංශයේ පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙමින් මීටර් 100, 4 වැනියා වෙමිනුත්, මීටර් 200, 5 වැනියා වෙමිනුත් සහ දුර පැනීමෙන් 5 වැනියා වෙමිනුත් තම ඉසව් අවසන් කරනවා.

එම වසරේ ම ආසියානු ශාන්තිකර කලාපීය පැරා තරගාවලියට එක් වෙන ජයලත්, එහි දී මීටර් 100 සහ 200 රන් පදක්කම් දිනා ගන්නා ලද අතර දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නවා. එම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු අවස්ථාව එයයි.

එම දක්ෂතාත් සමඟින් ජයලත්, 2016 රියෝ පැරාලිම්පික් ශූරතාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. එහි දී මීටර් 100, 5 වැනි ස්ථානයත්, මීටර් 200 සහ දුර පැනීමේ ඉසව්වලින් 6 වැනි ස්ථානත් දිනා ගන්නවා.

ඉන් අනතුරුව ජයලත් සහභාගී වූ අසාර්ථක ම තරගාවලියට එක් වෙනවා. ඒ 2017 කටාර් ලෝක ශූරතාවලියයි. එහි දී මීටර් 100 අවසන් මහා තරගයට ජයලත් සුදුසුකම් ලබා ගත්ත ද, එම තරගයේ දී වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට සිදු වෙනවා. කෙසේ වෙතත් ඔහු මීටර් 200 ඉසව්වේ දී 5 වැනි ස්ථානයත් සහ දුර පැනීම ඉසව්වෙන් 6 වැනි ස්ථානයත් දිනා ගන්නවා.

ජයලත්ගේ මලල ක්‍රීඩා දිවියේ පළමු අදියර නිමා වෙන්නේ ඒ ආකාරයෙන්.

ඒ වෙද්දී මම විවාහකයි. දරුවොත් ඉන්නවා. අපි හම්බ කරපු දෙයක් නැහැ. වියදම් කරල විතරයි. මට සහ බිරිඳට නැති වුනත් දරුවන්ට කාල වැටිල ඉන්න තැනක් ඕන නේ. ඒ ගැන හිතලයි මම ඒ තීරණය ගත්තේ.”

ජයලත්ගේ බිරිඳ, ජයන්තා නිරෝෂනී. ඇයත් ජයලත් සේ ම ඔවුන්ගේ කුටුම්භය සරි කරන්න අපමණ වෙහෙස වූ තැනැත්තියක්. ජයලත්ගේ සිල්ලර කඩයේත්, මල් පෝච්චි නිෂ්පාදනයේත් ප්‍රධාන සහායිකාව ඇය. අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක් වූවත් ඇය දූ දරුවන්ගේ සෙවනෙන් ඈත් වී රැකියාවකට යෑමට කැමැත්තක් දැක්වූවේ නැහැ.

වයස අවුරුදු 14ක් වන තරුෂිකා ෂෙහානි ජයලත් සහ වයස අවුරුදු 9ක් වන සරිසි දෙවිමිනි දියණියන් දෙදෙනාත් සහ වයස අවුරුදු 5ක් වන අදීප විදුශාන් ජයලත් පුතාත් ඔවුන්ගේ පවුල හැඩ කළා.

සිල්ලර කඩෙත් හිතූ තරම් සාර්ථක වුනේ නැහැ. පසුගිය කාලේ ප්‍රශ්න එක්ක සිමෙන්ති මල් පෝච්චි වැඩෙත් කඩා වැටුණා. එහෙම සිටිද්දී තමයි නැවතත් ක්‍රීඩා පිටියට එන්න මඟ පෑදෙන්නේ.”

මේ ඇතැම් විට ජයලත්ගේ ම කතාව පමණක් විය නොහැකියි. ජයලත් පසු කාලීනව හෝ ක්‍රීඩා පිටිය ආක්‍රමණය කළා. එහෙත් එසේ නොවී නැති-බැරිකම් හමුවේ සදහට ම ක්‍රීඩාවට සමුදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොතෙක් සිටිය හැකි ද? වර්තමානයේ වුව තමන්ගේ ප්‍රශ්න යටපත් කර ගනිමින් අමාරුවෙන් ක්‍රීඩා පිටියේ රැඳී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොතෙක් වෙත් ද? ඔවුන්ට ගෞරවනීය ක්‍රීඩා පිටියක් සැකසීම වගකිව යුතු බලධාරීන්ගේ වගකීමක් නොවේ ද?

මොනවා වුනත් ක්‍රීඩාව අල්ලගෙන ඉන්න පුළුවන් කාලයයි තියෙන්නේ. ඒකෙ දී උපරිමයෙන් කරන්න ඕන. මගේ බලාපොරොත්තුව 2024 පැරාලිම්පික් දක්වා ක්‍රීඩා කරන්න. ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට, මගේ ශ්‍රේණිගත කිරීම්වල තව ඉදිරියට එන්න ඕන. ඒ වෙනුවෙන් උපරිම උත්සාහ කරනවා. ඒකෙ ප්‍රතිඵලය අනුව තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු තීරණය වෙන්නේ,” ජයලත් ThePapare.com සමඟ පැවසුවා.

පැරා පිටිය කැලඹූ අනිල් ප්‍රසන්න ජයලත් නම් දිරිය ශ්‍රී ලාංකීකයාට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<