Dialog දැල්පන්දු රැජින වූ ජාතික නායිකාව – ගයානි දිසානායක

461

Dialog Axiata PLC සමාගම අනුග්‍රාහකත්වය දක්වමින්, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ “Dialog ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය – 2023” තරගාවලියේ දැල්පන්දු රැජින ලෙස කිරුළ දැරීමට සමත් වූයේ HNB කණ්ඩායමේ ගයානි දිසානායක.

29 හැවිරිදි වියේ පසුවෙන ගයානි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් ද වන අතර, ඇය වත්මන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙසින් ද හැඳින්විය හැකියි.

“කණ්ඩායමක් ලෙස අපි එකිනෙකා ගැන හොඳ අවබෝධයකින් යුක්තවයි තරගාවලියට පිවිසුණේ. ඒ නිසා කිසිදු තරගයක් අපහසු වුනේ නැහැ. ඒ වගේ ම කණ්ඩායමක් විදිහට අපි ලැබූ ජයග්‍රහණය ගැනත් සහ මා ලැබූ සම්මානය ගැනත් පෞද්ගලිකව ගොඩක් සතුටු වෙනවා. විශේෂයෙන් ම මේ ලැබූ සම්මානය මගින් මට, මම සේවය කරන ආයතනයට දැක්විය හැකි උපරිම ගෞරවය දක්වන්නට ලැබුණා කියල සතුටු වෙන්න පුළුවන්,” ගයානි දිසානායක ThePapare.com සමඟ පැවසුවා.

HNB කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නේ සිව්වැනි වරට වන අතර ගයානි පවසන්නේ තම ආයතනය මගින් ඊට උපරිම දායකත්වයක් සහ නිදහස් තම කණ්ඩායම වෙත ප්‍රදානය කරන බැවින් මෙම ජයග්‍රහණය අරුමයක් නොවූ බවයි.

අපි විශ්වාසයෙන් සිටියා අපේ කණ්ඩායමට මෙවර ද ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපිට හැම පහසුකමක් සලසා දෙමින්, බැංකුවේ සේවයෙන් පවා අපිව මුදා හරිමින් ඔවුන් අපිට හැකි උපරිම සහයෝගය සහ නිදහස ලබා දුන්නා. මම හිතනවා අපි ජයග්‍රහණය කරන්නේ ඒ ලැබූ නිදහසත් සමඟ කියලා. ඒ ගැන මම මගේ ආයතනයට ගෞරවනීය ස්තුතිය පුද කරනවා,” ගයානි පැවසුවා.

දැල්පන්දු ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා දැක්වූ සහ තවමත් දක්ෂතා දක්වන ගයානිගේ ගම කන්ද උඩරට, මහනුවර, දන්තුරේ. ඇය මුලින් ම පාසල් යන්නේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට. දන්න කියන කාලයේ සිට ම ක්‍රීඩාවට පිවිසෙන ගයානි පාසලේ කා අතරත් ජනප්‍රිය වුනේ මලල ක්‍රීඩිකාවක් ලෙසයි. එමෙන් ම ඇය පාසලේ සම වයසේ ක්‍රීඩිකාවන් අතරින් තරමක් උස ක්‍රීඩිකාවක් බැවින් ද මේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වුනා.

ඇත්තට ම අම්මට තමයි ඕන වුනේ මාව දැල්පන්දු ක්‍රීඩිකාවක් කරන්න. මම එතකොට මලල ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා හිටියේ. මීටර් 100, 200 සහ දුර පැනීම වගේ ඉසව්වලින් මම ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී පවා දක්ෂතා දැක්වුවා. නමුත් අම්මගෙ එක ම ආසාව තිබුණෙ මාව දැල්පන්දු ක්‍රීඩාවට යොමු කරන්න. අම්මා පාසල් කාලයේ දී දැල්පන්දු ක්‍රීඩා කරල තියෙනවා. ඒ නිසා ම වෙන්න ඇති මාවත් ඒ පැත්තට යොමු කළේ. ඒ වගේ ම මගේ උසත් ඊට බලපෑවා කියලා හිතෙනවා.”

ස්වර්ණමාලියෙන් දැල්පන්දු ක්‍රීඩාවට පිවිසියත් ගයානිට වැඩි දවසක් එහි පුහුණුවීම් කටයුතු කරගෙන යන්න සිදු වෙන්නේ නැහැ. ඒ මලල ක්‍රීඩාවෙන් පිරුපුන් අනාගතයකට හිමිකම් කියන ඇගේ දක්ෂතා හේතුවෙන් මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ඇයට ලැබෙන ඇරයුමක් නිසයි.

උසස් බාලිකා විද්‍යාලයේ දීත් මගේ මූලික ක්‍රීඩාව වුනේ මලල ක්‍රීඩාව. පාසලට ගත්තෙත් මලල ක්‍රීඩා කරන්නනේ. ඉතිං මම ඒකට මූලිකත්වය ලබා දෙමින් කරගෙන ගියා. ඒ වුනත් දැල්පන්දු ක්‍රීඩා කරන්න කියන අම්මගෙ බල කිරීමේ අරගලය නතර වුනේ නැහැ. ඒ බල කිරීම නිසා ම නිවාසාන්තර ක්‍රීඩා තරගවලට වගේ දැල්පන්දු ක්‍රීඩා කළා. තරගවල සහභාගී වුනා. එහෙම සිටිද්දී තමයි මට දැල්පන්දු ජාතික කණ්ඩායමේ සංචිතයට තෝර ගන්නේ. එතකොට මට වයස අවුරුදු 14යි.”

එය ගයානිගේ ජීවිතයේ අපූරු සංධිස්ථානයක්. තමන් එතෙක් මලල ක්‍රීඩාවෙන් පෑ දක්ෂතාවන් අභිබවා ඉඳ-හිටක සහභාගී වූ ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම හා එක්වීමට තමන්ගේ දක්ෂතා උරගා බැලීමකට ලක් වෙනවා.

ගයානි මහනුවරින්, කොළඹ එන්නේ ඒ විදිහට. ඒත් ඉතිං ඒක හරි අපහසුකාරියක් කියලයි ගයානි කිව්වේ.

මමත් එක්ක අම්මත් එනවා. මහනුවර සිට දිනපතා කොළඹ එන එක හරිම වෙහෙසකර වුනා. නමුත් කොච්චර වෙහෙසකර වුනත්, වදයක් වුනත් අපි දෙන්නට දෙන්නා ඒව විඳ දරා ගත්තා. කවදාවත් පුහුණුවීම් මඟ හැරියේ නැහැ. ඔය අතර මට කොළඹ විශාඛා විද්‍යාලයෙන් ආරාධනාවක් ලැබෙනවා දැල්පන්දු කණ්ඩායම හා එක්වෙමින් විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙන්න. ඊට පස්සෙ තමයි මේ හැමදේම.”

එතැන් සිට අගනුවර තම වාසභවන කර ගත් මේ අම්මා-දුවෝ බෝඩිම් කාමරයෙන් කාමරයට, කුලි නිවෙසකින් තවත් නිවෙසකට මාරු වෙමින් මලල ක්‍රීඩාව පසෙක තබමින් දැල්පන්දු ජීවිතය සරි කර ගත්තා.

ඒක වරදක් වුනේ නැහැ. මම මගේ ජීවිතය හොයා ගත්තා. ඊට මගේ අම්මා, තාත්තා, සහෝදරයන් දෙදෙනා වගේ ම ඥාති හිතවතුන් වගේ ම ආරම්භයේ සිට ම මා සමඟ සිටි පුහුණුකරුවන්, ක්‍රීඩිකාවන් සහ මට අත්පුඩියක් ගහල හරි උනන්දු කළ විශාල පිරිසක් මගේ ජයග්‍රහණයට සහයෝගය දැක්වූවා. ඒ පිටුපස සිටියා.”

ගයානිගේ පියා සහකාර පොලිස් අධිකාරි චානක දිසානායක මහතා. ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායමට කාලයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. මව, කුමාරි දිසානායක මහත්මිය තමයි ගයානි ළඟින් ම සිටින්නේ. ඒ වගේ ම මේ වන විට නාවික හමුදාවේ සේවයේ නියුතු වැඩිමල් සොයුරු කංචන දිසානායක සහ උසස් අධ්‍යාපනයේ නියුතු බාල සොයුරු අවන්ත දිසානායක යන අය ගයානිගේ දැල්පන්දු විස්කම් දිහා විශ්මිතව බලා සිටිමින් ඇය ව උනන්දු කරනවා.

මගේ ක්‍රීඩා ජීවිතයේ කිසිම අඩු-පාඩුවක් නොවෙන්න අම්මත් අප්පච්චිත් වග බලා ගත්තා. මට වැඩිපුර සලකනවා කියලා කවදාවත් අයියත් – මල්ලිත් කියල නැහැ. ඔවුන් දෙදෙනාත් මගේ ක්‍රීඩා ජීවිතයට උපරිම ලෙසින් දායකත්වය දැක්වූවා. පාසල් යන කාලෙ වගේ ම කොළඹ ඉන්න කාලෙත් අපි පුළුවන් විදිහට හැම දෙයක් ම කර ගත්තා. 2018 ආසියානු කුසලානය දිනා ගත්තහම රජයෙන් නිවාසයක් ලැබුණා. දැනට මමත් අම්මත් පදිංචි වෙලා ඉන්නේ එතැන. හැබැයි ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් ම නුවර යන්න තමයි හිත.”

තම තමන්ගේ දේ ඒ ආකාරයෙන් කර ගත්ත ද කණ්ඩායමක් ලෙස ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් ගැන ඇය වඩාත් කම්පිත වෙනවා. දැල්පන්දු ක්‍රීඩාව වෙනුවෙන් වෙන් වූ ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නොමැති වීම සහ සැලකිය යුතු මට්ටමේ පහසුකම් නොලැබීම ගැනත් ඇයගේ මැසිවිල්ලක්.

ගයානි යනු දැනට දශකයකට එපිට කාලයක සිට දැල්පන්දු ජාතික කණ්ඩායමේ සිටිමින් විවිධ සංචාරක තරගාවලි නියෝජනය කරමින් ක්‍රීඩාව ගමන් කරන දිශානතිය දැක තිබෙන කෙනෙක්. එබැවින් ඔවුන්ගේ හඬක් වේ නම් ඊට ක්‍රීඩා පරිපාලකයන්ගේ ඇහුම්කන් දීමක්, ඊට පිළියමක් යෙදීමක් කළ යුතු බැව් මේ ලියුම්කරුගේ විශ්වාසයයි.

එමෙන් ම ගයානි 2012 වසරේ සිට මේ දක්වා ආසියානු දැල්පන්දු ශූරතා 5ක් වෙනුවෙන් සහභාගී වූ ක්‍රීඩිකාවක්. ඉන් පළමු අවස්ථා 3 දී රිදී පදක්කම දිනා ගන්නා ඔවුන් 2018 වසරේ දී සිංගප්පූරුවේ දී පැවති 11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වෙනවා. එම ජයග්‍රහණය දැල්පන්දු ආසියානු ශූරතාවක් වසර 9කට පසුව මෙරටට දිනා දීමට සමත් වූ දක්ෂතාවක් බවට පත් වෙනවා.

ඇත්තට ම ඒ තරම් සතුටක් තවත් නැති තරම්. අපි කොහොම හරි ඒ දේ කළා නේද කියල අද වුනත් මතක් වෙද්දී තිබෙන්නේ දරා ගත නොහැකි තරමේ සතුටක්. විශේෂයෙන් ම අපි ඒ ජයග්‍රහණය කරා යෑමට විශාල ලෙස මහන්සි වුනා. ගොඩක් අඩු-පාඩු මැද තමයි අපි තරගාවලියට පවා සහභාගී වුනේ. නමුත් ඒ තත්ත්වයන් යටතේ වූවත් අපිට ඒ සියල්ල ජයග්‍රහණය කරන්න හැකි වුනා.”

ඉන් අනතුරුව වසරේ දී කොරෝනා උවදුර හේතුවෙන් ආසියානු දැල්පන්දු තරගාවලිය නොපැවති අතර ඊට පසුව පැවති 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය ද දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. මෙම කණ්ඩායමේ ද ගයානි ප්‍රබල සාමාජිකාවක්.

2011 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම හා එක්වෙන ගයානි, 2014 වසරේ දී ජාතික දැල්පන්දු කණ්ඩායමේ උපනායකත්වයට පත්වෙමින් ආසියානු ශූරතාවලිය වෙනුවෙන් සහභාගී වෙනවා. අනතුරුව 2015 වසරේ දී ද එම තනතුරේ කටයුතු කරන ගයානි පළමු වරට දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී වෙනවා. ඒ ඔස්ට්‍රේලියාවේ පැවති තරගාවලිය වෙනුවෙන්.

ඒ ලැබූ අත්දැකීම් සමඟින් මට කනිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය හිමි වෙනවා. ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමඟ එකතු වෙමින් පෑ දක්ෂතා නිසා එම කණ්ඩායමේ නායකත්වය මට හිමි වෙයි කියන විශ්වාස තිබුණා. එසේ කනිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය දරමින් සහභාගී වූ පළමු තරගාවලියේ දී ම මට මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට හැකි වෙනවා. ඒ මතකයත් සදා අමරණීයයි.”

ඒ 2015 වසරේ දී හොංකොං රාජ්‍යයේ පැවති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියයි. එම තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නේ වසර 13කට පසුවයි. එම ජයග්‍රහණයත් සමඟින් ඇය එම වසරේ දී පැවති ජනාධිපති සම්මාන ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේ දී ජනප්‍රියතම ක්‍රීඩිකාවට බවට පත් වීමට ද සමත් වෙනවා.

එමෙන් ම ගයානි මේ දක්වා 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ සහ 2019 වසරේ ඇමරිකාවේ පැවති ලෝක දැල්පන්දු ශූරතාවලියන් නියෝජනය කළ ක්‍රීඩිකාවක් ද වෙනවා. මේ වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතාවලිය වෙනුවෙන් නම් කරන ලද සංචිතයේ ද ගයානි ප්‍රබල ක්‍රීඩිකාවක් ලෙසින් අසුන් වෙන් කර ගෙන සිටිනවා.

දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ලෙසත් සහ නායිකාව ලෙසින් කටයුතු කළ කාලය ගැනත් මම මගේ දක්ෂතාවන් මගින් කණ්ඩායමට දැක්වූ දායකත්වය ගැන සෑහීමකට පත් වෙනවා. ඒ වගේ ම දැල්පන්දු ක්‍රීඩාවත් සමඟ ලොකු ගමනක් ආව කියලා හැඟෙනවා. ඒ වගේ ම ඊටත් වඩා දිගු ගමනක් යන්න තියෙනවා. එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී අපේ කණ්ඩායම අවසන් කණ්ඩායම් 10 අතරට ගෙන ඒම මූලික අභිප්‍රායක්. ඒ වෙනුවෙන් මම මගේ උපරිම දායකත්වය දැක්වීමට සූදානමින් සිටිනවා. මගේ එක ම අභිප්‍රාය සහ බලාපොරොත්තුව, ඒ වෙනුවෙන් මහන්සි වී ඊට සහභාගී වීමයි,” ගයානි දිසානායක ThePapare.com පැවසුවා.

ශ්‍රී ලාංකීය දැල්පන්දු ක්ෂේත්‍රයට සුවිශේෂී දක්ෂතාවන් එක් කළ ගයානි දිසානායකගේ දක්ෂතා ඉදිරියේ දී ද බලාපොරොත්තු වෙමින් ThePapare.com හී උණුසුම් සුබ පැතුම් ඇය වෙත පුද කරමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<