Murali Vijay ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

3639
India's Murali Vijay leaves the pitch after he is bowled by England's James Anderson during the second day of the second test match between England and India at Lord's cricket ground in London, Friday, Aug. 10, 2018. (AP Photo/Kirsty Wigglesworth)

2013-18 කාලය තුල ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙක් ව සිටි Murali Vijay සිය ක්‍රිකට් ජීවිතයට සමුදීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට 38 වැනි වියේ පසු වන Vijay ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 61කට ක්‍රීඩා කර ඇති අතර, ඊට අමතරව එක්දින ජාත්‍යන්තර තරග 17ක් සහ විස්සයි විස්ස තරග 09ක් ද ක්‍රීඩා කර තිබෙනවා.

සිය ටෙස්ට් ක්‍රිකට් තරග 61 තුල දී පිතිකරණ සාමාන්‍ය 38.28ක අගයක රඳවා තබා ගනිමින් ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ටෙස්ට් ලකුණු 3982ක් ලබා ගැනීමට සමත් වූ Vijay 2013- 15 තරග සමය තුල ඉන්දියාව වෙනුවෙන් දෙවැනියට වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත් වීමට ද සමත් වුනා.

2008 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණු Vijayට සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද දෛවෝපගත ලෙස ඕස්ට්‍රේලියාව හමුවේ ම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එතරම් සාර්ථකත්වයක් පෙන්වීමට Vijay සමත් නොවුනත්, Chennai Super Kings සමඟින් ඉතා හොඳ IPL තරග සමයක් ක්‍රීඩා කිරීමට ඔහු සමත් වූ අතර, පසුව Delhi Daredevils (දැන් Delhi Capitals) සහ Punjab Kings කණ්ඩායම්වලට නායකත්වය ද ලබා දෙමින් IPL තරග 106ක් ක්‍රීඩා කළා.

සිය සමුගැනීම ප්‍රකාශ කරමින් Vijay අවධාරණය කර ඇත්තේ, අනාගතයේ ලෝක ක්‍රිකට් සහ ඒ හා බැඳුණු ව්‍යාපාර කෙරෙහි සිය අවධානය යොමු කරන බවයි.

“මම ක්‍රිකට් ලෝකය සහ එහි නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි දී නව සහ වෙනස් පරිසර තත්වයන් තුල මම වඩාත් ම ආදරය කරන ක්‍රීඩාව දිගටම සිදු කරන බව ද ප්‍රකාශ කරනවා.”

එමෙන්ම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව වෙනත් රටවල ක්‍රිකට් ලීග සඳහා සහභාගී වන බව මෙම සමුගැනීමේ ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කර නැතත්, මීට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පවසා සිටියේ, විදෙස් රටවල තමන්ට ඇති අවස්ථා පිළිබඳ සිය අවධානය යොමු කරනා බවයි.

එමෙන්ම එහි දී ඔහු විශේෂයෙන්ම සඳහන් කළේ ඉන්දියාවේ දී වයස අවුරුදු 30 ඉක්මවූ ක්‍රීඩකයින් පිළිබඳ ඒ තරම් ම තැකීමක් නො කරන බවයි.

“ඉන්දියාවේ දී වයස අවුරුදු 30න් පස්සේ දේවල් තහනම්. මම හිතන්නේ මිනිස්සු අපි දිහා බලන්නේ අවුරුදු 80 මිනිස්සු පාරේ ඇවිදින දිහා බලනවා වගෙයි.

මාධ්‍ය මගින් පවා මේවා වෙනස් විදිහට පෙන්වා දිය යුතුයි. මට හොඳින් පිතිකරණයේ යෙදෙන්න පුළුවන් බව මට දැනෙනවා. ඒත් අවාසනාවකට අවස්ථා අඩුයි. ඒ නිසා මට එළියෙන් අවස්ථා හොයා ගන්න සිදු වෙනවා.”

එමෙන්ම ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවත්, BCCI විසින් තමන් වෙත ලබා දුන් අවස්ථා පිළිබඳ ස්තුතිවන්ත වන බවත් Murali Vijay සිය සමුගැනීමේ නිවේදනයේ තව දුරටත් සඳහන් කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<