අද (12) කොල්කටා හි Eden Gardens ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය, පසුගිය දා සිය ජීවිතයෙන් සමුගත්, බ්‍රසීල පාපන්දු තරුව Pele වෙනුවෙන් උපහාර දැක්වීමට අවස්ථාවක් කර ගන්නා බව බෙංගාල ක්‍රිකට් සංගමය (CAB) විසින් ප්‍රකාශ කරනවා.
1977 වසරේ සැප්තැම්බර් 24 වැනිදා New York Cosmos සහ Mohun Bagan කණ්ඩායම් අතර පැවති සුහද පාපන්දු තරගයක් නියෝජනය කරමින් කොල්කටා Eden Gardens ක්‍රීඩාංගණයේ දී Pele විසින් පාපන්දු තරගයක් ක්‍රීඩා කර ඇති අතර, එම හේතුව ද නිසා අද තරගයේ දී පුළුල් තිර ඔස්සේ Peleගේ ක්‍රීඩා දිවියේ වීඩියෝ දර්ශන පෙන්වමින් ඔහුව සිහි කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම එදා (1977) තරගයේ Mohun Bagan කණ්ඩායම නියෝජනය කළ, අද ජීවතුන් අතර සිටින සියලුම ක්‍රීඩකයින්ට ද මෙම අවස්ථාව වෙනුවෙන් ඇරයුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉන්දියාව පුරාම මෙම පාපන්දු පුරාවෘත්තය වෙනුවෙන් විශාල රසික පිරිසක් සිටින අතර, Pele ද තෙවරක් ඉන්දියාවේ සංචාරය කර තිබෙනවා.
- ශ්‍රී ලංකා ක්රීඩකයින් දෙදෙනෙකුට ආබාධ අවදානමක්!
- Mickey Arthur ආයෙත් පාකිස්තානයට එන්න බැහැ කියයි!
- Kohli සිය ශතකයේ අයිතිය දවසේ වාසනාවට පිරිනමයි!
- “මන්කාද් කරලා දසුන්ව දවා ගන්න අපි සැලසුම් කළේ නැහැ” – Rohit Sharma
- ටෙස්ට් ලෝක ශූරයින් වෙන්න ශ්‍රී ලංකාව කළ යුතු දේ!
පෙර සඳහන් කළ තරගය වෙනුවෙන් 1977 දී Pele පළමු වරට ඉන්දියාවට පැමිණි අතර එම තරගය ගෝල 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් වුනා. එදා තරගය නැරඹීමට 65,000කට අධික ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් Eden Gardens ක්‍රීඩාංගණයට රැස්ව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම තරගයෙන් සතියකට පමණ පසු (1977 ඔක්තෝබර් 1) Pele සිය අවසන් පාපන්දු තරගය ද ක්‍රීඩා කළා. එමෙන්ම මීට අමතරව 2015 සහ 2018 වර්ෂවල දී නැවතත් දෙවතාවක් Pele ඉන්දියාවට පැමිණියා.
දීර්ඝ කාලීනව පිළිකාවකින් පීඩා විඳිමින් සිටි Pele පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනිදා වයස අවුරුදු 82 දී සිය ජීවිතයෙන් සමුගත්තා.
අද තරගයේ පළමු ඉනිමෙන් අනතුරුව ලේසර් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බව CAB සම ලේකම් Debabrata Das විසින් ප්‍රකාශ කර ඇති අතර, හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම මෙම තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස ද කටයුතු කරන කුමාර් සංගක්කාර විසින් තරගය ආරම්භ කිරීමේ සීනුව නාද කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<