“ආජන්ටිනාව කියන්නේ මෙසී විතරක් නෙමෙයි” – බෲනෝ

6698

2022 පාපන්දු ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව මේ දිනවල ඊට මානසික සූදානමෙහි නිරත වන බවයි පෙනෙන්නේ. ක්‍රොඒෂියානු ප්‍රහාරක Bruno Petkovic (බෲනෝ පෙට්කොවිච්) පසුගිය දා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

ආජන්ටිනාවට එරෙහි අවසන් පූර්ව තරගයේ දී මෙසීව විශේෂ කොට නොසලකන බව ඔහු පවසනවා.

අපට මෙසීව නවත්තන්න විශේෂ සැලසුමක් නෑ. සාමාන්‍යයෙන් අපි එක ක්‍රීඩකයෙකුව නවත්වන එක ගැන අවධානය යොමු කරන්නේ නෑ, මුළු කණ්ඩායමම නවත්වනවා හැර”, ඔහු පැවසුවා.

බ්‍රසීලයට එරෙහි තරගයේ අතිරේක කාලයේ දී ක්‍රොඒෂියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කොට ඔවුන්ව දඬුවම් පහර වටය කරා ගෙන ගියේ බෲනෝ පෙට්කොවිච්. ක්‍රොඒෂියාවට එරෙහිව ආජන්ටිනාව තරග කරන අවසන් පූර්ව තරගය Lionel Messi (ලියොනල් මෙසී) සහ Luka Modric (ලූකා මොඩ්රිච්) අතර තරගයක් වනු ඇති බවට විචාරක මත පළවෙනවා. එහෙත් බෲනෝ පවසන්නේ මෙසීව නැවැත්වීම ඔවුන්ගේ කාර්යය නොවන බවයි.

අපි ඔවුන්ව කණ්ඩායමක් හැටියට නවත්තන්න උත්සාහ කරාවි. එක්කෙනෙක්ව සලකුණු කරගෙන නෙමෙයි. ආජන්ටිනාව කියන්නේ මෙසී විතරක් නෙමෙයි, ඔවුන්ට ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් ගණනාවක් ඉන්නවා. අපට මුළු ආජන්ටිනා කණ්ඩායමම නවත්වන්න වේවි”, බෲනෝ පැවසුවා.

එළඹෙන 13 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා, ප්‍රංශ-මොරොක්කෝ තරගයේ ජයග්‍රාහකයා සමඟින් 18 වැනි ඉරිදා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිවල දී ඔවුන් දඬුවම් පහර වට වලට ගිය සියලු තරග ක්‍රොඒෂියාව විසින් ජයගෙන තිබෙනවා. ඒ ගැන ද බෲනෝ අදහස් පළ කළා.

මම හිතන්නේ වෘත්තීය ක්‍රීඩකයන් නොවෙන ගොඩක් දෙනාට හරියට පෙනල්ටි ගහන්න පුළුවන්.”

වෙනස තමයි මානසිකව ඔබ කෙතරම් ශක්තිමත් ද කියන එක. කලින් නොතිබුණු විශාල පීඩනයක් ඔබට අත්දකින්න වෙනවා. ඒත් ලෝක මට්ටමේ ගෝල රකින්නෙක් ඉන්න එකත් උදව්වක්”, ඔහු පැවසුවේ ඔවුන්ගේ සුපිරි ගෝල රකින්නා, Dominik Livakovic (ඩොමිනික් ලිවකොවිච්) සිහිකරමින් විය යුතුයි.

ආජන්ටිනා කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයා මෙසී වන බවට සැකයක් නැහැ. එහෙත් ක්‍රොඒෂියානු මැදපෙළ වන Luka Modric (ලූකා මොඩ්රිච්), Mateo Kovacic (මැටියෝ කොවචිච්), Marcelo Brozovic (මාසෙලෝ බ්‍රොසොවිච්) තරගයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බව විචාරක මතයයි.

ඒ පිළිබඳ ක්‍රොඒෂියානු ආරක්ෂක පෙළෙහි Josip Juranovic (යෝසිප් යුරානොවිච්) අදහස් පළ කළා.

මැටියෝ, ලූකා සහ මාසෙලෝ කියන්නේ ක්‍රොඒෂියානු පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මැද පෙළ. මම හිතන්නේ නෑ ආයෙමත් එහෙම එකක් එයි කියලා. ඔයා ඒගොල්ලන්ට බෝලෙ පාස් කරනවා කියන්නේ බැංකුවේ සල්ලි දැම්මටත් වඩා ආරක්ෂිතයි”.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<