චාමිකගේ අලුත්ම සෞඛ්‍ය තත්වය

ලංකා ප්‍රිමියර් ලීගය 2022

1149

පසුගිය බදාදා (07) Galle Gladiators කණ්ඩායම සමඟ පැවති තරගයේ දී උඩපන්දුවක් රැක ගැනීමට යාමෙන් ආබාධයකට ලක් වූ චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයක සිටින බව වාර්තා වනවා.

Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා.

“ඔහු දැන් ස්ථාවරයි, ඒ වගේම අනතුරුදායක තත්වයෙන් මිදිලයි ඉන්නේ. ඔහු තරගාවලියේ පල්ලෙකැලේ පැවැත්වෙන තරගවලට සහභාගී වෙන්න සුදුසු තත්වයක ඉන්නවා, ” චාමිකගේ තත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරමින් Kandy Falcons කණ්ඩායම් කළමනාකරු පවසා තිබුණා.

Galle Gladiators සමඟ පැවති තරගයේ සිව්වැනි පන්දුවාරයේ Carlos Brathwaite යැවූ පන්දුවකට ලැබුණු උඩපන්දුවක් රැක ගැනීමට යාමේ දී චාමිකට මෙම අනතුරට මුහුණ දීමට සිදු වූ අතර, ඔහුට අනතුරට මුහුණ පෑමට සිදු වුනත් කෙසේ හෝ එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමටත් ඔහු සමත් වුනා.

එම අනතුර සිදුවීමත් සමඟ චාමිකව වහාම රෝහල් ගත කර පසුව ශල්‍යකර්මයකට භාජනය කළා. එම අනතුර නිසා ඔහුගේ දත් හතරක් ගැලවී තිබූ අතර, යටි තොල සහ විදුරුමස ද තුවාල වී තිබුණා.

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ක්‍රීඩක ගිවිසුම් උල්ලංඝනය කිරීමේ වරද නිසා චාමිකට විනය මණ්ඩලය ඉදිරියේ වරදකරු වීමට සිදු වූ අතර, දස්කම් අතර නොමැති වූ බව පවසමින් ඔහුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ද ඉවත් කෙරුණා.

එම සිදුවීම්වලින් සති දෙකක් පමණ ඇතුළත ඔහුට මෙම ආබාධ තත්වයන්ට ද මුහුණ දීමට සිදු වීම කනගාටුවට කරුණක්.

බදාදා තරගයට පෙර තරග විකාශකයින් හමුවේ අදහස් දක්වමින් චාමික පවසා සිටියේ, Falcons සමඟ ගත කරන කාලය නැවත ජාතික කණ්ඩායමට යෑමට වේදිකාවක් කර ගන්නා බවයි.

“පසුගිය අවුරුදු දෙක පුරාවටම මට තිබුණේ එක නරක මාසයක් විතරයි, එය මගේ උපරිමය නෙවෙයි (100%). අලුත් මාසයක්, අලුත් LPL තරගාවලියක්. ගිය අවුරුද්දේ මම ඇත්තටම හොඳට කළා, මේ අවුරුද්දෙත් මට හොඳට තරග කරන්න ඕන. මම Abu Dhabi T10 තරගාවලියෙත් හොඳින් තරග කරලා ආවේ. ඒ නිසා නැවත මගේ රිද්මයට ඇවිත් ආයෙත් ජාතික කණ්ඩායමට එකතු වෙන්නයි මට අවශ්‍ය.”

Kandy Falcons කණ්ඩායමේ මීළඟ තරගය Jaffna Kings සමඟ හෙට (10) පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<