ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වුනේ එංගලන්තය ශූරතාව ජයග්‍රහණය කරමින්.
එම ජයග්‍රහණත් සමඟින් එංගලන්තය අවස්ථා 2ක දී විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් එක ම රට සේ මෙතෙක් කිරුළ දරා සිටි බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ සම අසුන්වලට හිමිකාරිත්වය කියනවා.
එංගලන්තය අවසන් වරට ලෝක කුසලානයක් දිනා සිටියේ 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ දී පැවැති තෙවැනි ලෝක කුසලානයයි. එදා Paul Collingwoodගේ නායකත්වය යටතේ ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7කින් ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය දිනා ගන්නවා.
ඉන් අනතුරුව 2016 වසරේ ඉන්දියාවේ දී පැවති 6 වැනි ලෝක කුසලාන තරගාවලියේ දී ද ශූරතා කුසලානය අභියසට ම පැමිණීමට Eoin Morganගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා.
සුප්‍රසිද්ධ Kolkata හි Eden Gardens පිටියේ දී පැවති අවසන් මහා තරගය සඳහා ඔවුන් සහභාගී වූයේ බටහිර ඉන්දිය කොදෙව්වන් සමඟයි. නමුත් එම තරගයේ දී කඩුලු 4ක පරාජයක් ලබන ඔවුන්ට අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත් වීමට සිදු වෙනවා.
ඒ අනුව ඔවුන් මෙවර ලෝක කුසලානයක් දිනා ගන්නේ වසර 12කට පසුවයි. පාකිස්තානය සමඟ පැවති අවසන් මහා තරගයේ දී ඔවුන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවත ලෝක කුසලානයක පහස ලබනවා.
එංගලන්තයේ 2022 ලෝක කුසලානයේ ජයග්‍රාහී ගමන් මග | ||
ප්‍රතිවාදීන් | ප්‍රතිඵලය | |
1 | ඇෆ්ගනිස්තානය | කඩුලු 5ක ජයග්‍රහණයක්. |
2 | අයර්ලන්තය | ලකුණු 5ක පරාජයක්. |
3 | ඕස්ට්‍රේලියාව | වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි. |
4 | නවසීලන්තය | ලකුණු 20ක ජයග්‍රහණයක් |
5 | ශ්‍රී ලංකාව | කඩුලු 4ක ජයග්‍රහණයක් |
අවසන් පූර්ව තරගය | ||
6 | ඉන්දියාව | කඩුලු 10ක ජයග්‍රහණයක් |
අවසාන මහා තරගය | ||
7 | පාකිස්තානය | කඩුලු 5ක ජයග්‍රහණයක් |
මේ ගමන යෑමේ මංගල තරගයේ දී ඇෆ්ගනිස්තානය පහසුවෙන් පරාජය කරන එංගලන්ත ක්‍රීඩකයෝ දෙවැනි තරගයටත් මුහුණ දෙන්නේ එවැනි ම ජයග්‍රහණය පහසුවෙන් ලබා ගැනීමට හැකි වෙතැයි සිතෙන අයර්ලන්තය සමඟයි. නමුත් එම තරගයේ දී ඔවුන් නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙනවා.
එම තරගයේ දී ඔවුන්ට සිදු වෙන්නේ අයර්ලන්තය වෙතින් ලකුණු 5කින් පරාජය වීමටයි. එම ප්‍රතිඵලය එංගලන්ත ගමනට විශාල බාධාවක් වුනා. එය තව දුරටත් වර්ධනය වූයේ ඕස්ට්‍රේලියාව සමඟ තරගය පන්දුවක් හෝ නොයවමින් අතහැර දැමීමට සිදු වීම නිසයි.
කෙසේ වෙතත් ඊට පසුව පැවැති නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ තරගවල දී හොඳින් තම ගමන සැලසුම් කළ ඔවුන් A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
- ලැබූ ජය ගැන උදම් අනන ක්‍රීඩකයින්
- වසර 12කට පසුව එංගලන්තයට තවත් T20 ලෝක කුසලානයක්
- අවසන් මහා තරගයට වැස්ස බාධාවක් වෙයි ද?
- දක්ෂතා පෙන්වූවත් වාසනාව අහිමි Virat Kohli
තරගාවලියේ එංගලන්තය සහභාගී වූ අතිශ්‍ය උද්වේගකර ම තරගය වූයේ ඉන්දියාව සමඟ පැවති අවසන් පූර්ව තරගයයි. බොහෝ විචාරකයන්ගේ මෙන් ම ප්‍රේක්ෂකයන්ගේ ද තේරීම වූයේ ඉන්දියාව එම තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට පිවිසෙනු ඇති බවයි.
ඉතා අල්ප ප්‍රමාණයක් එංගලන්තයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා. ඒ අතරට විවාදාත්මක තීරණ කිහිපයක වාසිය ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම කළ නොපනත්කම් ගැන උරණව සිටි අය ද වූවා.
කෙසේ වෙතත් ඒ තීරණාත්මක තරගය පැවැති දා Adelaide Oval ක්‍රීඩාංගණය පිරී ඉතිරි ගියේ ඉන්දීය ජයග්‍රහණය අපේක්ෂා කළ වැඩි ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විතව.
එසේ වූවත් හඹා යන ඉනිමේ දී සියලු අනුමාන කිරීම්, බොරු කිරීමට එංගලන්ත නායක Jos Buttler සහ Alex Hales සමත් වුනා. ගිනිකෙළි සංදර්ශනයක් සේ ඇරඹූ ඔවුන්ගේ ඉනිම් ජයග්‍රහණයෙන් නොදැවෙමින් අවසන් කළේ ඉන්දීය ක්‍රීඩකයන්ට පරාජයක අවමානය කෙතරම් දැයි නැවත නැවතත් සිහිපත් කිරීමට උගන්වමින්.
එදා ඔවුන් දෙදෙනා විසින් ඉන්දියාවට එරෙහිව වාර්තා කරන ලද නොදැවුණ ලකුණු 170, ලෝක කුසලාන තරගාවලියක ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.
ඒ ආඩම්බරයත් සමඟයි ඔවුන් පාකිස්තානය සමඟ වූ අවසන් මහා තරගයට පිවිසෙන්නේ.
ලෝක කුසලාන තරගාවලියේ පිතිකරු දක්ෂතා | |||||||||
Player | Team | Mat | Inns | NO | Runs | HS | Ave | 50 | |
1 | Virat Kohli | ඉන්දියාව | 6 | 6 | 3 | 296 | 82* | 98.66 | 4 |
2 | Max O’Dowd | නෙදර්ලන්තය | 8 | 8 | 1 | 242 | 71* | 34.57 | 2 |
3 | Suryakumar Yadav | ඉන්දියාව | 6 | 6 | 2 | 239 | 68 | 59.75 | 3 |
4 | Jos Buttler | එංගලන්තය | 6 | 6 | 1 | 225 | 80* | 45.00 | 2 |
5 | කුසල් මෙන්ඩිස් | ශ්‍රී ලංකාව | 8 | 8 | 1 | 223 | 79 | 31.85 | 2 |
ලෝක කුසලානය ජයග්‍රහණය කළ ද පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථාන 25 අතරට ශ්‍රේණිගත වූ ක්‍රීඩකයන් අතර එංගලන්ත ජාතිකයන් අතරින් සිටින්නේ නායක Jos Buttler සහ Alex Hales පමණයි.
Buttler ලකුණු 225ක් ලබා ගනිමින් මේ ලැයිස්තුවේ ඉහළ 5 දෙනා අතර සිව්වැන්නා ලෙසින් එක් වෙන අතර Alex ලකුණු 212ක් ලබා ගනිමින් එහි 8 වැනි ස්ථානය ලබා ගන්නවා. ඉන් අනතුරුව මේ ලැයිස්තුවට එක් වෙන්නේ Ben Stokes. ඔහු ලකුණු 110ක් ලබා ගන්නා ලද අතර ඒ වෙනුවෙන් ඔහුට හිමි වූ ස්ථානය 37 වැන්නයි.
ලෝක කුසලාන තරගාවලිය නිමා වෙද්දී පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත් වූයේ ඉන්දියාවේ Virat Kohli. ඔහු තරග 6ක දී ලබා ගත් ලකුණු 296ක සාමාන්‍ය 98.66ක් වැනි ඉහළ අගයක් ගත්තා. එමෙන් ම තරගාවලිය නිමා වීමත් සමඟින් Kohli විස්සයි විස්ස තරග පිටියේ ලකුණු 4000ක් පසු කළ ලොව පළමුවැන්නා බවට පත් වීමට ද සමත් වුනා.
එමෙන් ම මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සමත් වුනා. ඔහු තරග 8ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 223ක්.
මෙවර තරගාවලියේ දී ශතක 2ක් වාර්තා වන අතර ඉන් පළමුවැන්න වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාවේ Rilee Rossouw. ඔහු බංග්ලාදේශයට එරෙහිව පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛාව වූ අතර මෙවර තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
අනෙක් ශතකයේ හිමිකාරීත්වය නවසීලන්තයේ දකුණත් පිතිකරු Glenn Phillips හට හිමිවෙනවා. ඒ ශ්‍රී ලංකාව අමාරුවේ දමමින් රැස් කරන ලද ලකුණු 104යි. ඔහුගේ එම ඉනිමට පන්දු 64ක් පමණක් වැය වූ අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඊට අයත් වුනා.
ලෝක කුසලාන තරගාවලියේ පන්දු යවන්නන්ගේ දක්ෂතා | |||||||||
Player | Team | M | I | Overs | M | Runs | Wkts | BBI | |
1 | වනිඳු හසරංග | ශ්‍රී ලංකාව | 8 | 8 | 31.0 | 1 | 199 | 15 | 3/8 |
2 | Sam Curran | එංගලන්තය | 6 | 6 | 22.4 | 0 | 148 | 13 | 5/10 |
3 | Bas de Leede | නෙදර්ලන්තය | 8 | 7 | 22.0 | 0 | 169 | 13 | 3/19 |
4 | Blessing Muzarabani | සිම්බාබ්වේ | 8 | 7 | 26.0 | 0 | 199 | 12 | 3/23 |
5 | Anrich Nortje | ද. අප්‍රිකාව | 5 | 5 | 17.3 | 0 | 94 | 11 | 4/10 |
මෙම ලැයිස්තුව ආක්‍රමණය කළ ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ පළමුවැන්නා වන්නේ Sam Curran. එංගලන්තයේ වඩාත් භයානක පන්දු යවන්නා ලෙසින් හැඳින්වෙන වමතින් වේගපන්දු යවන 24 වැනි වියේ පසුවෙන Sam Curranට එහි හිමිවන්නේ දෙවැනි අසුනයි. ඒ ඔහු තරග 6ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 13 හේතුවෙන්.
ඉන් කඩුලු 5ක් ම ඔහු ලබා ගන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ දීයි. ලකුණු 10කට ලබා ගන්නා ලද එම කඩුලු 5 ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවීමයි. එමෙන් ම එය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාවය ද වෙනවා.
Sam Curran පෑ එම දක්ෂතාව හෝ කඩුලු සංඛ්‍යාවටත් වඩා ඔහුගේ වඩාත් වටිනාකම වන්නේ මෙවර තරගාවලියේ අවසන් තරගයේ වීරයා මෙන් ම තරගාවලියේ ද වීරයා බවට පත් වීමයි. තරගාවලියක එම සම්මාන ද්විත්වය එක ම ක්‍රීඩකයෙක් සතු වූ පළමු අවස්ථාව ද මෙයයි.
කෙසේ වෙතත් මෙම ලැයිස්තුවේ ද පළමු ක්‍රීඩකයන් 25 දෙනා අතරට එංගලන්ත පන්දු යවන්නන්ට අසුන් හිමි වෙන්නේ 2ක් පමණයි. ඒ Sam Curranට අමතරව Mark Wood වෙතයි. කඩුලු 9ක් ලබා ගන්නා Wood එම ලැයිස්තුවට එක් වෙන්නේ 12 වැන්නා ලෙසයි.
එහි 29 වැනි ස්ථානය Ben Stokes වෙත හිමිවෙන අතර ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 6ක්.
ලෝක ශූර එංගලන්ත පන්දු යවන්නෝ එලෙස එහි ස්ථාන හිමි කර ගනිද්දී, ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත් වෙනවා. ඔහු තරග 8ක දී ලබා ගන්නා ලද කඩුලු ප්‍රමාණය 15ක් වන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ UAE කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට ලබා ගන්නා ලද කඩුලු 3යි. ඊට අමතරව ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු 3 බැගින් දවා ගත් අවස්ථා තවත් 2ක් ද වාර්තා කරනවා. ඒ නෙදර්ලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.
නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී අපිට කොතැනකදීවත් එංගලන්තය ගැන මහත් උජාරුවෙන් කතා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ. ඒ තරගාවලිය නිර්මාණ වෙද්දී ම එහි ඉහළ අසුන් හිමිකර ගෙන සිටියේ වෙනත් වෙනත් කණ්ඩායම් හේතුවෙන්.
ඉන්දියාව සහ නවසීලන්තය එහි ඉහළින් ම අසුන් වෙන්කර ගෙන සිටි අතර ඊට පසුව ලැයිස්තු ගත කණ්ඩායම් අතර “ඇතැම් විට” යන විස්මයාර්ථය සමඟ එංගලන්තය ගැන ද යාන්තමට කතා වුනා. එහි යම් වෙනසක් වූවා නම් ඒ ඉන්දියාව සමඟ පැවති අවසන් පූර්ව තරගයේ ප්‍රතිඵලයත් සමඟයි.
එවන් කණ්ඩායමකුයි මෙවර ලෝක ශූරයන් බවට පත් වෙන්නේ.
ඔවුන් අවසන් වශයෙන් සහභාගී වූ තරග ත්‍රිත්වයේ දී පරාජය කරන්නේ ආසියාතික රටවල් වන අතර එම රාජ්‍යයන් ත්‍රිත්වය ම කාලයක් ඔවුන්ගේ යටත් විජිතයන් ලෙසින් පැවැතීම ද දෛවෝපගතයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<