රටවල් 7ක සහභාගීත්වයෙන් තරග 24කින් සමන්විත වූ 2022 කාන්තා ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසුවෙන්ම සතු කරගත්තා. ඒ ශ්‍රී ලංකාවට වසර 14කට පසුව කුසලානයේ පහස විඳීමට තිබූ අවස්ථාවක් අහිමි කරමින්.
මෙම පරාජය ආසියානු කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ දරුණුතම පරාජය ලෙසින් ද හැඳින්විය හැකියි. ඊට හේතු වන්නේ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ රැස් කර ගත් ලකුණු 65, ආසියානු කුසලානයක ඔවුන් ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව වීම සහ අඩුම පන්දුවාර ප්‍රමාණයකින් අවසන් වූ තරගය ද වීම හේතුවෙන්. තරගය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වැය වූයේ පන්දුවාර 28ක් සහ පන්දු 3ක් පමණයි.
2004 වසරේ සිට ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ පන්දුවාර 50 තරගාවලියක් ලෙසයි. ඊට පසුව 2012 වසරේ සිට මෙම තරගාවලිය විස්සයි විස්ස තරගාවලියක් සේ පැවතුණා.
ආරම්භයේ සිට පිට පිට වසර 6ක් ජයග්‍රහණය ලැබූ ඉන්දීය ක්‍රීඩිකාවෝ ඉන් අනතුරුව වසරේ දී බංග්ලාදේශය වෙතින් පරාජය වෙනවා. නැවත වතාවක් මේ වසරේ දී ආසියානු ශූරතාව දිනා ගත් ඔවුන් තරගාවලි 8න් 7ක ශූරියන් බවට පත් වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව අවස්ථා 5ක දී ද, පාකිස්තානය අවස්ථා දෙකක දී සහ ඉන්දියාව එක් අවස්ථාවක දී අනුශූරතාව දිනා ගන්නවා. කෙසේ වෙතත් මේ දක්වා පැවති සෑම ආසියානු කුසලානයක දී ම ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක්.
- අමිහිරි පරාජයන් මිහිරි ජයග්‍රහණ කළ මාස 12 ගැන Gerhard Erasmus කතා කරයි
- 2023 IPL වෙන්දේසිය දෙසැම්බර් මස දී
- පිතිකරණ සියදිවි නසා ගැනීම් හමුවේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට!
- වැසි නිමයි – ශතක 5යි
මෙවර ආසියානු කුසලානයේ අපේ ගමන් මග
තරගාවලියට සහභාගී වෙද්දීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙතැයි සිතූ කණ්ඩායම් දෙකක් වූවා. ඒ ඉන්දියාව සහ පාකිස්තානයයි. සිතූ සේම තරගාවලියේ සහභාගී වූ පළමු වටයේ පළමු තරගයේ දීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉන්දියාව වෙතින් ලකුණු 41ක පරාජයක් විඳ ගැනීමට සිදුවූවා.
පළමු වටයේ අනෙකුත් තරග ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් වරට හමු වූ පාකිස්තානය වෙතින් කඩුලු 5ක පරාජයක් ලැබුවා. මේ පරාජයත් සමඟ ශ්‍රී ලංකාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනී යැයි යන විශ්වාසය ද දුරස් වූවා. ඊට තවත් හේතුවක් වූයේ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රදිවාදිනියන් වූයේ ද පාකිස්තානය වීම නිසා.
නමුත් තියුණු අවසානයක් සහිත වූ ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් වසර 14කට පසුව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග පෙළ ගැස්ම
ප්‍රතිවාදීන් | විසඳුම | |
1 | ඉන්දියාව | ඉන්දියා ක්‍රීඩිකාවන්ට ලකුණු 41ක ජයක් |
2 | UAE | ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 11ක ජයක් |
3 | තායිලන්තය | ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 49ක ජයක් |
4 | මාලදිවයින | ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 72ක ජයක් |
5 | බංග්ලාදේශය | ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 3ක ජයක් |
6 | පාකිස්තානය | පාකිස්තාන ක්‍රීඩිකාවන්ට කඩුලු 5ක ජයක් |
අවසන් පූර්ව තරගය | ||
7 | පාකිස්තානය | ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණක ජයක් |
අවසන් මහා තරගය | ||
8 | ඉන්දියාව | ඉන්දීය ක්‍රීඩිකාවන්ට කඩුලු 8ක ජයක් |
පිතිකාරිණියන් අතර හර්ෂිතාට දෙවැනි ස්ථානය හිමි වීම
තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන් අතර පෙරමුණ ඉන්දීය ක්‍රීඩිකා Jemimah Rodrigues හට හිමි වෙද්දී, එහි දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් පිත්ත හසුරුවන 24 හැවිරිදි හර්ෂිතා මාධවී සමත් වූවා.
ඇය තරග 8කට සහභාගී වෙමින් ලකුණු 202ක් රැස් කරගත්තා. එහි සාමාන්‍ය 25.25ක් වූ අතර තායිලන්තය සමඟ පැවති තරගයේ දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලබා ගත් ලකුණු 81 ඇයගේ හොඳම ඉනිම බවට ද පත්වුණා. එය හර්ෂිතාගේ විස්සයි විස්ස පිටියේ හොඳම ඉනිම බවට ද සටහන් වූ අතර තරගාවලියේ එක් ඉනිමක දී ක්‍රීඩිකාවක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට ද පත්වුණා.
තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිණියෝ
Player | Team | M | Inns | Runs | HS | Ave | 100 | 50 | |
1 | Jemimah Rodrigues | ඉන්දියාව | 8 | 6 | 217 | 76 | 54.25 | 0 | 28 |
2 | හර්ෂිතා මාදවී | ශ්‍රී ලංකාව | 8 | 8 | 202 | 81 | 25.25 | 0 | 1 |
3 | Shafail Verma | ඉන්දියාව | 6 | 6 | 166 | 55 | 27.66 | 0 | 1 |
4 | Sidra Ameen | පාකිස්තානය | 7 | 7 | 158 | 56 | 26.33 | 0 | 1 |
5 | Nida Dar | පාකිස්තානය | 7 | 5 | 145 | 56* | 72.50 | 0 | 1 |
ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නේ 33 හැවිරිදි දකුණත් පිතිකාරිණි නිලක්ෂි ද සිල්වා. ඇය තරග 8කට සහභාගී වෙමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 130ක්. එය තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කරගත් පිතිකාරියන් අතර 8 වැනි ස්ථානය හිමි වූ දක්ෂතාවක්.
ඊට පසුව ශ්‍රී ලංකාවෙන් මේ දක්ෂතා ගොන්නට ලැයිස්තු ගත වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු. ඇයට මෙවර තරගාවලියේ දී රැස් කර ගත හැකි වන්නේ තරග 8කට ක්‍රීඩා කරමින් ලකුණු 102ක් පමණයි. එහි සාමාන්‍ය 12.75ක්.
ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් අතරින් ඉදිරිපෙළ වමතින් පිතිකරණයේ නිරත වන හෂිනි පෙරේරා සියලු තරගවලට සහභාගී වෙමින් ලකුණු 85ක් ලබා ගනිමින් කණ්ඩායමට දායකත්වය දැක්වූවා.
පන්දු යවන්නියන්ගේ දක්ෂතා
තරගාවලියේ පන්දු යවන ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානය දිනා ගත් ඉන්දියාවේ Deepthi Sharma සමඟ සම තැන් ගැනීමට ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර සමත් වුනා. ඔවුන් දෙදෙනා දවා ගත් කඩුලු ප්‍රමාණය 13ක්.
වමතින් දඟපන්දු යවන 36 හැවිරිදි ඉනෝකා මෙම තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7කට කඩුලු 4ක් බිඳ හෙළනවා. එය විස්සයි විස්ස පිටියේ ඉනෝකාගේ ඉහළම දක්ෂතාව වූ අතර මෙවර තරගාවලියේ තෙවැනියට ශ්‍රේණිගත වූ ඉහළම දක්ෂතාවයි.
පෞද්ගලික දක්ෂතා අතර ඇයට පෙර පාකිස්තානයේ Omaima Sohail ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ව ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් පළමු ස්ථානයටත්, මාලදිවයින් කණ්ඩායමට එරෙහිව ලකුණු 2කට කඩුලු 4ක් දවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණතින් මද වේගපන්දු යවන 27 වියැති මල්ෂා ෂෙහානි දෙවැනි ස්ථානයටත් පත්ව සිටියා.
ඉනෝකාට අමතරව වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නියන් අතරට ආ ශ්‍රී ලංකා පන්දු යවන්නිය වූයේ දකුණතින් පිට දඟපන්දු යැවූ 21 හැවිරිදි කවීෂා දිල්හාරි. ඇය තරග 7කට සහභාගී වෙමින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 7ක්. ඒ දක්ෂතාවත් සමඟ ඇයට එම ලැයිස්තුවේ හිමි වූ ස්ථානය 10 වැනි ස්ථානයයි.
ඇයට අමතරව වමතින් දඟපන්දු යවන සුගන්දිකා කුමාරි (කඩුලු 6) සහ දකුණතින් පිට දඟපන්දු යවන ඕෂදී රණසිංහ (කඩුලු 6) ද සම දක්ෂතා දක්වමින් මේ ලැයිස්තුවට එක්වුණා. පන්දු යවන්නියකට අමතරව ඕෂදී පිතිකාරිණියක් ලෙස ද මෙම තරගාවලියේ දී දක්ෂතා දැක්වීම කැපී පෙනුනා. ඇය ඉනිම් 7ක දී වාර්තා කර ගත් ලකුණු සංඛයාව ලකුණු 83ක්.
තරගාවලියේ පන්දු යවන්නියන්ගේ දක්ෂතා
Player | Team | M | Overs | M | Runs | Wkts | Best | 4 | |
1 | Deepthi Sharma | ඉන්දියාව | 8 | 30.0 | 1 | 100 | 13 | 3/7 | 0 |
2 | ඉනෝකා රණවීර | ශ්‍රී ලංකාව | 8 | 26.0 | 2 | 121 | 13 | 4/7 | 1 |
3 | Rumana Ahmed | බංග්ලාදේශය | 5 | 12.0 | 2 | 58 | 10 | 3/9 | 0 |
4 | Omaima Sohail | පාකිස්තානය | 7 | 19.0 | 0 | 88 | 10 | 5/13 | 1 |
5 | Rajeshwari Gayakwad | ඉන්දියාව | 7 | 23.0 | 1 | 106 | 9 | 2/8 | 0 |
චමරි අතපත්තු
ශ්‍රී ලංකාවේ මහත් බලාපොරොත්තුව වූයේ නායිකා චමරි අතපත්තු. නමුත් ඇයට මෙම තරගාවලිය එතරම්ම හිතකර වූයේ නැහැ. ඇය මෙම තරගාවලියේ දී රැස් කරගත් ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රේණිගත වන්නේ 16 වැන්නිය ලෙසයි.
කෙසේ වෙතත් ඇය මෙම තරගාවලියේ දී තම ජාත්‍යන්තර තරගවල දී ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් වුනා. මේ දක්වා එක්දින තරග 90ක සහ විස්සයි විස්ස තරග 106ක ඉනිම් 194කට සහභාගී වී ඇති ඇය වාර්තා කරගෙන සිටින ලකුණු ප්‍රමාණය 5021ක්. ඊට එක්දින ලකුණු 2840ක් සහ විස්සයි විස්ස ලකුණු 2181ක් ඇතුළත්.
මේ ලකුණු අතර එක්දින ජාත්‍යන්තර තරගවල දී ඕස්ට්‍රේලියාවට (178* සහ 103), ඉන්දියාවට (115), අයර්ලන්තයට (111), දකුණු අප්‍රිකාවට (106) සහ පාකිස්තානයට (101) එරෙහිව ශතක 6ක් ද, විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරගන්නා ලද ලකුණු 113ක් ද ඇතුළත්.
චමරි- හර්ෂිතා සහ ඉනෝකා
කෙසේ වෙතත් චමරිගේ දක්ෂතා සැඟවෙද්දී හර්ෂිතා සහ ඉනෝකාගේ දක්ෂතා කරළියට පිවිසීම ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් සාධනීය ලක්ෂණයක් සේ පෙනේ. මෙතෙක් අපට චමරි මතම යැපෙන්නට සිදු වූයේ අන් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හරි හැටි එළි දැක්වීමක් නොවූ නිසා සහ හරි ගොනු කිරීමක් නොවන බැවින්. එවැනි අවස්ථාවල දී සිදුවූයේ චමරි මතම බර පැටවීමක්. එය ඇතැම් විට ඇය වෙත දැඩි පීඩනයක් එල්ල වීමක් වූවා ද විය හැකියි.
එවැනි විටෙක කණ්ඩායමේ සංයුතිය ද දන්නා ප්‍රතිවාදීන් ද චමරි වෙතම දැඩි පීඩනයක් එල්ල කිරීම වැළැක්විය නොහැකියි. එබැවින් චමරි සේම හෝ ඊට ආසන්නයෙන් සිටින ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්ගේ අවශ්‍යතාව මේ කණ්ඩායමට එක් කළ යුතු යැයි ලියුම්කරුගේ විශ්වාසයයි.
ඊට හර්ෂිතා සහ ඉනෝකා ලබා දෙන්නේ කදිම උත්තේජනයක්. එය නිමා වූ තරගාවලියෙන් නතර නොවී දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි.
ඊට අමතරව නිලක්ෂි ද සිල්වා, ඕෂදී රණසිංහ, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි සහ මල්ෂා ෂෙහානි වැනි ජ්‍යෙෂ්ඨයන්ට මීට වඩා සහයෝගයක් තම කණ්ඩායමට ලබා දිය හැකියි. එය ආවට ගියාට නොව, තරගයෙන් තරගයට ක්‍රියාත්මක වන දක්ෂතාවන් විය යුතුයි.
එමෙන්ම කණ්ඩායම හා එක්ව සිටින යොවුන් ක්‍රීඩිකා කවීෂා දිල්හාරිගේ දක්ෂතා ද අනාගතයට කදිම ආයෝජනයක් වනවාට කිසිදු සැකයක් නැත. ඇයත් සමඟ ඇය හා සම වයසේ පසුවන්නෝ ද තමන්ට ලැබෙන පළමු අවස්ථාවේම තම දක්ෂතා කරළියේ තැබීමට වග බලා ගත යුතුය. ජ්‍යෙෂ්ඨයන්ට දක්ෂතාවන්ගෙන් අභියෝග කළ යුතුය.
මේ නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව දිගහැරෙන තරගාවලිවල දී අප බලාපොරොත්තු වන්නේ එවැනි දෑ ය. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන්ය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට Thepapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<