ඉන්දීය ප්‍රබලයින් රැසක් දකුණු අප්‍රිකා සංචාරයට නෑ

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

472

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයට වරම් හිමි වීමට බොහෝ ඉඩක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම විස්සයි විස්ස තරගාවලිය සඳහා කණ්ඩායම තේරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු නිලධාරීන් ඉරිදා (29) රැස්වීමට නියමිතයි.

ජූලි 01 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ එංගලන්ත අතර ටෙස්ට් තරගයට සූදානම් වීම සඳහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් වන Rohit Sharma, Virat Kohli, KL Rahul, Rishabh Pant, Jasprit Bumrah, R Ashwin සහ Mohammed Shami දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන මෙම විස්සයි  විස්ස තරගාවලියේ දී විවේක ගැන්වීමට නියමිත බව ද වාර්තා වනවා.

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත අතර පසුගිය වසරේ එංගලන්තයේ දී පැවති මෙම ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව පෙරමුණේ තිබිය දී කොරෝනා වසංගතය නිසාවෙන් කල්දැමීමට සිදු වූ අතර තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයට සහභාගී වීමට ඉන්දීය ක්‍රීඩකයින් ජුනි මාසය මැද දී එංගලන්තය බලා පිටත් වීමට නියමිතයි.

එම නිසාවෙන් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන මේ තරගාවලියේ නායකත්වය Shikhar Dhawanට හිමි වීමට ද බොහෝ ඉඩක් ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩකයින් වන Tilak Varma, Umran Malik,  Prasidh Krishna, Mohsin Khan සහ Arshdeep Singh මෙම සංචිතයට එක් කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම IPL තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya සහ කඩුලු රකින පිතිකරු Dinesh Karthik හට ද නැවත කැඳවීමක් ලැබීමට ඉඩ ඇති අතර තරගාවලියට දඟපන්දු යවන්නන් ලෙස Yuzvendra Chahal සහ Kuldeep Yadav කැඳවීමට නියමිත බව වාර්තා වනවා.

ජුනි 09 වැනිදා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි  විස්ස කණ්ඩායම අයර්ලන්තය සමඟ විස්සයි  විස්ස තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර එම තරගාවලියට දකුණු අප්‍රිකාවට එරෙහිව නම් කරන සංචිතය ක්‍රීඩා කිරීමට නියමිතයි.

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසුව එක්දින සහ විස්සයි විස්ස තරග තුනකට ද ඉන්දීය කණ්ඩායම සහභාගී වීමට සැලසුම් කර ඇත.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<