අතපත්තු සහ Wyattගේ ප්‍රහාරයෙන් Falcons අවසන් සටනට

අතපත්තු සහ Wyattගේ ප්‍රහාරයෙන් Falcons අවසන් සටනට

1709
Falcons vs Spirit
FairBreak Global

2022 FairBreak ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ (14) පැවැත්වුණු අතර එම තරගයෙන් Spirit කණ්ඩායමට එරෙහිව ලකුණු 25ක ජයක් ලබා ගැනීමට චමරි අතපත්තු ඇතුළු Falcons ක්‍රීඩිකාවන් සමත් වුනා.

Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මේ තරගයේ කාසියේ දිනා ගත් Falcons  පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අතපත්තු සහ Dannie Wyatt එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 90ක් තුල වේගවත් ලකුණු 132ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා.

4 පහර 7ක් සහ 6 පහර 2ක් සමඟ පන්දු 52ක දී ලකුණු 63ක් ලබාගෙන සිටි අතපත්තුගේ කඩුල්ල දැවී යාමත් සමඟම එම ලකුණු 132 සබඳතාවය බිඳ වැටුණා. ඇයගේ දැවී යාමට පසුව Falcons  අවසන් පන්දුවාර 5 තුල කඩුලු 4ක් දැවී ලබා ගත්තේ ලකුණු ලකුණු 40ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වුනු Wyatt පන්දු 48ක් සඳහා මුහුණ දෙමින් ලකුණු 83ක් ලබා ගත් අතර ඇයගේ එම ප්‍රහාරත්මක ඉනිමට 4 පහර 8ක් සහා එක් 6 පහරක් ඇතුළත් වුනා.

අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 172ක ඉලක්කයක් සිය ප්‍රතිවාදීන් වෙත ලබා දුන්නා. අතපත්තු සහ Wyatt දැනට මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා ලෙස පිළිවෙළින් ලකුණු 304ක් සහ ලකුණු 205ක් ලබාගෙන පළමු සහ දෙවැනි ස්ථාන දිනාගෙන සිටිනවා. පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේගපන්දු Nicola Carey ලකුණු 30කට  කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 173ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය Spirit කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 147ක් පමණයි.

Sophia Dunkley (ලකුණු 45) සහ Natthakan Chantham (ලකුණු 42) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 70 සබඳතාවය හැරෙන්නට වෙනත් එකඳු හෝ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට Spirit ක්‍රීඩිකාවන්ට හැකි වුනේ නැහැ.

Sophie Ecclestone නොදැවී ලකුණු 29*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Anju Gurung ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව මේ තරගය ජයග්‍රහණය කළ Falcons කණ්ඩායම සහ අනෙක් අවසන් පූර්ව තරගයේ දී Barmy Army කණ්ඩායම කඩුලු 4කින් පරාජය කළ Tornadoes කණ්ඩායම අද (15) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

Falcons – 172/5 (20): Danni Wyatt 83, Chamari Athapaththu 63, Nicola Carey 2/30, Ayabonga Khaka 1/27

Spirit – 147/5 (20): Sophia Dunkley 45, Natthakan Chantham 42, Anju Gurung 2/26, Gunjan Shukla 1/16

තරග ප්‍රතිඵලය – Falcons කණ්ඩායමට ලකුණු 25ක ජයක්

  • තරගයේ වීරවරිය – Danni Wyatt (Falcons)

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<