අඩසියවසක එක්දින තරග ආකෘතියේ යුග තුනක වෙනස

3361

ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම තරග රටාවක් සම්බන්ධ විශ්ලේෂණයන්, තක්සේරු කිරීම් සහ ක්‍රීඩකයන් අතර නොයෙකුත් සංසන්දනයන් වැනි දෑ වර්තමානය වන විට  ක්‍රීඩාවේම කොටසක් බවට පත් වී ඇත්තේ ඒ මඟින් අදාල ක්‍රීඩකයන්ට නිසි ගෞරවයක් සහ නිශ්චිත වටිනාකමක් ලබා දීමට අවකාශයක් ලැබෙන බැවින්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ Wisden වැනි පිළිගත් වෙබ් අඩවි මඟින් වාර්ෂිකව ක්‍රීඩකයන්ට හා කණ්ඩායම්වලට එක් එක් තරග රටා ඔස්සේ ලබා දෙන සම්මාන, විශිෂ්ටයන්ගේ ක්‍රීඩක ලැයිස්තු වලට ඇතුළත් කිරීම් (උදා-ICC Hall of Fame), සර්වකාලීන කණ්ඩායම් සැකසීම (All-time XIs) වැනි අංග ක්‍රිකට් ලෝකයට මුසුවුනේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

ක්‍රීඩාව උන්මාදයක් කර ගත් නරඹන්නන් පවා ඉහත සඳහන් කළ සංසන්දනයන් හා තක්සේරු කිරීම් කිරීමට පෙළඹීම වර්තමානයේ සුලභ කරුණක් බවට පත් වී ඇත්තේ ඒ සමඟින්.

නමුත් යම් විනිවිදභාවයකින් යුතුව අප එවැන්නක් සිදු කළ යුතු වන්නේ අදාල ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුගයන්ගේ වෙනසට අනුකූලව දැක්වූ දක්ෂතා විවිධ නිර්ණායකයන් රැසක් මත පදනම් කරගනිමින් තර්කානුකූල ලෙසයි.

මේ ඒ ඔස්සේ “ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ආකෘතිය” පිළිබඳව සිදුකරන ලද පුළුල් විශ්ලේෂණයක්.

මේ අනුව ජාත්‍යන්තර එක්දින එක්දින තරග ඉතිහාසය එකිනෙකට වෙනස් යුගයන් කීයකට බෙදෙනවා ද, ඒවායේ සිදු වූ පරිවර්තයන් මොනවා ද සහ එම ‍යුගයන් නිශ්චිතවම වෙන් වන්නේ කුමන කාල සීමාවන් වලදී ද? යුග වලට සාපේක්ෂව පදනම් කරගන්නා ප්‍රධාන නිර්ණායකයන් මොනවා ද? ඒ සියලු කරුණු කාරණා ගැන එකින් එක අපි බලමු.

ප්‍රධාන යුගයන්

එක්දින ක්‍රිකට් වංශ කතාවේ සමාරම්භය සිදු වූයේ 1971 වසරේ ජනවාරි 5 වැනිදා එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බන් හිදී පැවැත්වූ එක්දින ජාත්‍යන්තර තරගයත් සමඟිනි.

ඒ අනුව එක්දින ඉතිහාසයේ ක්‍රීඩා කළ පළමු තරගය වූ එතැන් සිට මේ දක්වා ගෙවීගිය අඩසියවසක (වසර 50ක) කාල පරිච්ඡේදය එකිනෙකට වෙනස් යුගයන් තුනකට අයත් වුනා. එලෙසින් මෙම තරග රටාව යුග තුනකට බෙදී යාමට මූලික හේතුසාධක වූයේ ක්‍රීඩාවේ නීතිරීති, නව්‍යතා ඇතුළු සුවිශේෂී වෙනස්කම් රැසක් වරින් වර සිදුවීම හේතුවෙන් එතැන් පටන් තරග රටාව වෙනස් ස්වරූපයන් වලට පරිවර්තනය වීමයි.  ඒ පහත අයුරින්.

  1. මුල් යුගය (1971 ජනවාරි – 1992 අප්‍රේල්)
  2. මැදි යුගය (1992 අප්‍රේල් – 2011 ඔක්තෝබර්)
  3. නූතන යුගය (2011 ඔක්තෝබර් – වර්තමානය දක්වා)

මුල් යුගය (𝟭𝟵𝟳𝟭 ජනවාරි – 𝟭𝟵𝟵𝟮 අප්‍රේල්)

1971 වසරේ පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ සිට 1992 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වාම මෙම යුගය ඇදීගියා. විශේෂයෙන්ම වේගපන්දු යවන්නන්ට හිතකර තණතීරු බහුල වශයෙන් භාවිතා කිරීම, එවකට භාවිතා කළ පිති වල වෙනස, පිතිකරුවන්ට වැඩි වාසියක් නොතිබූ නීතිරීති ඇතුළු තවත් හේතුකාරණා රාශියක් නිසා එම වසර 21කට වැඩි කාල පරිච්ඡේදය පුරාවටම වේගපන්දුවේ අණසක පැතිරුණා.

යුගයේ මුල් අවධියේ දී ආරක්ෂක හිස් ආවරණ (helmets) නොපැළඳි අතර මුල්ම වරට ඒවා හඳුන්වාදුන්නේ 1978 වසරේදී ය. එම හේතු නිසා වේග පන්දු භීතිකාව හමුවේ යම් අවදානමක් සහිතව පන්දුවට පහර දීමට සිදුවීම එවකට පිතිකරුවන්ට විශාලතම අභියෝගයක් වුනා.

වසර කිහිපයක් ගතවන විට මෙම යුගයට මෙන්ම එක්දින තරග රටාවට ද නවතම මුහුණුවරක් එක්වූයේ 1977 පැවති කෙරී පැකර් තරගාවලියත් සමඟින්. එහි දී හඳුන්වා දුන් වර්ණ ඇඳුම්, සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන දිවා රාත්‍රී තරග, අඳුරු දෘශ්‍ය තිර (dark sight screens), රූපවාහිනී විකාශන සමාගම්. බහු කැමරා කෝණ (multiple camera angles), තණතීරුවේ සිටින ක්‍රීඩකයන්ගේ ශබ්දය ග්‍රහණය කර ගැනීමට මයික්‍රොෆෝන, තිරයේ ග්‍රැෆික්ස් (on-screen graphics) වැනි සුවිශේෂී අංග නිසා මෙම තරග රටාව ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් ඇල්මක් දැක්වීමට පටන් ගත්තා.

1977 වසරේ වර්ණ ඇඳුම් හා සුදු පන්දුව මුල්ම වරට හඳුන්වා දුන්නත්, එකදිගටම ඒවා භාවිතා කිරීමට යොමුවුණේ පසුකාලීනව වන අතර මෙම යුගයෙන් වැඩි කාලයක් ක්‍රීඩා කළේ සුදු පැහැති ඇඳුම් හා රතු පන්දුවත් සමඟිනි. එමෙන්ම යුගයේ වැඩි තරග ගණනක් පැවැත්වුණේ දිවා තරග ලෙසයි.

මෙම යුගය මධ්‍යයේ දී සිදු වූ තවත් එක් වෙනසක් වූයේ ඉනිමේ පන්දු වාර සංඛ්‍යාවයි.  ඒ පහත අයුරින් කාලපරිච්ඡේද දෙකකට වෙන් කරමිනි.

  1. පන්දු වාර 60 ක්‍රීඩා කළ කාලසමය (1971-1983)

යුගයේ මුල් අවධියේ දී එක් ඉනිමකට පන්දුවාර 60ක් පැවති අතර මුල්ම පන්දුවාර 50 තරගය පැවැත්වුණේ 1977 වසරේ දීයි. එහෙත් එය දිගුකාලීන නීතියක් වශයෙන් සංශෝධනය වූයේ 1983 ලෝක කුසලානයේ අවසානයෙන් අනතුරුවයි.

තරග වාර්තාව 

මේ අනුව පන්දුවාර 60ක් ක්‍රීඩා කළ කාලසමයේ දී කණ්ඩායමක් ඉනිමක රැස්කළ ලකුණු සාමාන්‍යය වූයේ ලකුණු 252කි. (4.20(පන්දු වාරයකට ලබාගත් ලකුණු) x60(පන්දුවාර))

  1. පන්දු වාර 50 ක්‍රීඩා කළ කාලසමය (1983-1992)

පන්දුවාර සංඛ්‍යාව වෙනස් වීමත් සමඟින් 1983 වසරේ ජූලි මාසයෙන් ආරම්භ වූ මෙම කාල පරිච්ඡේදයේ දී එක් පන්දු වාරයකට ලබා ගන්නා සාමාන්‍ය ලකුණු ගණනේ සුළු වර්ධනයක් සිදු වුනා.

තරග වාර්තාව 

ඒ අනුව මෙම කාලසමයේ දී කණ්ඩායමක් ඉනිමක රැස්කළ ලකුණු සාමාන්‍යය වූයේ ලකුණු 223ක්. (4.46(පන්දු වාරයකට ලබාගත් ලකුණු) x50(පන්දු වාර)

  • හත තරග වාර්තා දෙක ඔස්සේ දැක්වෙන්නේ මුල් යුගයේ ක්‍රීඩා කළ හොඳම කණ්ඩායම් 6 (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය) විසින් රැස්කළ ලකුණු සංඛ්‍යාව සහ ඒ සම්බන්ධ අනෙකුත් දත්තයන් ය.

මෙම කාලසමයන් දෙකේ ඉනිමක සාමාන්‍යයන් පොදුවේ ගත්කළ එවකට ලකුණු 220/230 වැනි කණ්ඩායම් ලකුණු ගණනක් වුනත්, තරගයක් ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් මට්ටමේ ලකුණු ගණනක් බවට පත්වුනා.

යුගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් මට අනුව හොඳම එක්දින කණ්ඩායම හැදෙන්නෙ මෙන්න මෙහෙමයි.

මෙම යුගයේ හොඳම පිතිකරුවා වශයෙන් ශ්‍රීමත් විව් රිචර්ඩ්ස්, හොඳම වේගපන්දු යවන්නා ලෙස ජොයෙල් ගානර් හා දඟපන්දු යවන්නා ලෙස අබ්දුල් කදීර් සලකනු ලබනවා.

අනෙක් යුගයන් වලට සාපේක්ෂව වසර 21ක් පුරාවට ඇදී ගිය මෙම මුල් යුගය  තුළ දී කණ්ඩායම් ක්‍රීඩා කර ඇත්තේ ඉතාමත් අඩු එක්දින තරග පමණක් නිසා ඊට සාපේක්ෂව එම යුගයේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවලට නිසි වටිනාකමක් ලබා දීම මෙහි දී අනිවාර්ය කරුණක්.

උදාහරණ වශයෙන් එම යුගයේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා වශයෙන් සැලකෙන විව් රිචර්ඩ්ස් වසර 14ක් එක්දින පිටියේ රැඳී සිටියත්, ඔහුට ක්‍රීඩා කිරීමට ලැබුණේ තරග 187ක් පමණයි. එහි දී රැස්කර ඇත්තේ ලකුණු 6,721ක් වූවත් එහි දෙගුණයකට වඩා ලකුණු රැස්කළ වෙනත් යුගයන් වල ක්‍රීඩා කළ පිතිකරුවන්ට ඉහළින් පවා ඔහුව තක්සේරු කිරීමකට ලක්වනවා.

ඒ වගේම එක්දින කඩුලු 146ක් පමණක් සතු ජොයෙල් ගානර් වැන්නෙක්ට ද එම තර්කය වලංගු වනවා. ඔහු වසර 10කට අධික දිගුකාලීනත්වයක් (longevity) සහිත පන්දු යවන්නෙකු වුණත් එම යුගයේ ක්‍රීඩා කළ අඩු එක්දින තරග ප්‍රමාණය හේතුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට සිදුවූයේ තරග 98ක් පමණයි.

මෙම කාලපරිච්ඡේදය මුළුමුනින්ම ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුතු කොදෙව්වන් තම ආධිපත්‍යයට නතු කර ගනු ලැබූ අතර ඔවුන් 1975 සහ 1979 ලෝක කුසලාන දෙකේම ශූරතාවය දිනා ගැනීමට සමත් වුනේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

මුල් යුගයේ පැවති අනෙක් ලෝක කුසලාන 3 පිළිවෙළින් ඉන්දියාව (1983), ඕස්ට්‍රේලියාව (1987) හා පාකිස්තානය (1992) ජයගැනීමට සමත් වුනා.

මැදි යුගය (𝟭𝟵𝟵𝟮 අප්‍රේල් 𝟮𝟬𝟭𝟭 ඔක්තෝබර්)

අවිවාදයෙන් තොරවම පන්දුව හා පිත්ත අතර සමබරතාව හොඳින්ම පැවතුණු යුගය ලෙස මෙම යුගය අපට හඳුන්වන්න පුළුවන්.  1992 ලෝක කුසලානය නිමාවට පත්වීමත් සමඟම 1992 වසරේ අප්‍රේල් මාසයේ දී ක්‍රිකට් නීතිරීති කිහිපයක්ම සංශෝධනයට ලක්වූයේ පන්දු යවන්නන්ට පමණක් වාසි සහගත වූ ක්‍රීඩාවේ පිතිකරුවන් සඳහා තරමක හෝ සහනයක් ලබා දීම වෙනුවෙනුයි.

පන්දුවාර 50න් මුල් පන්දුවාර 15 තුළ දී යාර 30 සීමාවට එපිටින් සිටිය හැකි පන්දු රකින්නන් ගණන දෙදෙනෙකු පමණක් ලෙසට සීමා වී ක්‍රීඩාව සිත්ගන්නා සුළු ස්වභාවයකට පරිවර්තනය වූයේ ද ඒ සමඟිනි. මුල් යුගය හා මැදි යුගය වශයෙන් වෙන් වීමට බලපෑ මූලික හේතුසාධකය වූයේ ද එයයි.

තරග වාර්තාව 

  • මෙහි දැක්වෙන්නේ අදාල කාලසීමාවේදී ක්‍රීඩා කළ හොඳම කණ්ඩායම් 8 (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව) විසින් රැස්කළ ලකුණු සංඛ්‍යාව සහ ඒ සම්බන්ධ අනෙකුත් දත්තයන් ය.

මේ අනුව මැදි යුගයේ කණ්ඩායමක් ඉනිමක රැස්කළ ලකුණු සාමාන්‍යය වූයේ ලකුණු 246.5කි. (4.93(පන්දු වාරයකට ලබාගත් ලකුණු) x50(පන්දු වාර))

මේ යුගයේ ආරම්භයත් සමඟින් ක්‍රීඩකයන්ගේ ඇතැම් සාම්ප්‍රදායික භූමිකා වල පවා යම් වැඩි දියුණුවක් සිදු වුනේ මෙලෙසින්.

  • ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන්

මුල් යුගයේ ක්‍රීඩා කළ ආරම්භක පිතිකරුවන්ගේ මූලික කාර්‍යභාරය බවට පත් වූයේ සාම්ප්‍රදායික ලෙස කෙමෙන් කෙමෙන් ඉනිම ගොඩනඟමින් පිටියේ ස්ථාවර වී දිගු ඉනිම් කරා යාමයි.

නමුත් මෙම යුගයේ හඳුන්වා දුන් යාර 30 සීමාවේ නීතියත් සමඟින් ආරම්භක පිතිකරුවන් මුල් පන්දුවාර 15 තුළ හැකිතාක් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට පෙළඹුණේ එයින් උපරිම වාසිය ලබා ගනිමින්.

යාර 30 සීමාවේ නීතිය හඳුන්වා දුන්නේ යුගයේ ආරම්භය වූ 1992 වසරේ අප්‍රේල් මාසයේ වූවත් 1996 වසර ආරම්භයේ ඕස්ට්‍රේලියාවේ පැවති Benson & Hedges කුසලානයේ දී සනත් ජයසූරිය හා රොමේෂ් කළුවිතාරණ දෙදෙනාගේ සුසංයෝගයෙන් මුල්ම වරට එම උපක්‍රමය භාවිතා කරන තුරු ම ක්‍රිකට් ලෝකයට එය අමුත්තක් බවට පත් වී තිබුණා.

නමුත් ඔවුන් දෙදෙනා එක්ව ප්‍රහාරාත්මක පිතිකරණය මඟින් පිටිය උඩුයටිකුරු කිරීමත් සමඟින් අනෙක් කණ්ඩායම් ද එම වාසිය ලබා ගැනීම පෙලඹුණා. මේ අනුව එක්දින ක්‍රිකට් වංශකතාවේ එම විප්ලවීය වෙනස හඳුන්වාදුන් පුරෝගාමීන් බවට පත්වුණේ සනත්-කළු යුගලය බව යන කාරණය අප කා අතරත් නොරහසක්.

සමස්ත තරගයේ ම තීරණය වෙනස් කිරීමට පවා එය බොහෝසෙයින් බලපෑමක් ඇති කළේ ඒ ඔස්සේ යම් ගම්‍යතාවයක් (momentum) එක්වූ නිසා කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්ට පීඩනයකින් තොරව පන්දුවට පහර දීමට වාතාවරණය නිර්මාණය වීම හේතුවෙනි. සාම්ප්‍රදායික ආරම්භක පිතිකරණ භූමිකාවේ වෙනස්වීම සිදුවූයේ ඒ ලෙසින්.

  • කඩුලු රකින පිතිකරුවා

මුල් යුගයේ දී කඩුලු රකින්නාගේ පිතිකරණ අංශය ගැන කණ්ඩායම් වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් මෙම යුගයේදී “කඩුලු රකින පිතිකරුවා” වශයෙන් එම භූමිකාව වෙනස් වුනා.

එම යුගයේ දී බොහෝ විට අංක 7 සිට 10 දක්වා පහළ පිතිකරණ ස්ථානවල පිතිකරණයේ යෙදුනු සාපේක්ෂ වශයෙන් අඩු පිතිකරණ හැකියාවක් සහිත කඩුලු රකින්නන් වෙනුවට පිතිකරුවන් වශයෙන් ද යම් දායකත්වයක් ලබා දිය හැකි කඩුලු රකින්නන් ආදේශ වීම මෙම යුගයේ උපනතියක් (trend) බවට පත්වුනා.

බොහෝ විට ඔවුන්ට ඉහළ පිතිකරණ ස්ථානයන් හිමි වූ අතර ඒ සමඟින් කණ්ඩායමේ වගකිවයුතු පිතිකරුවන් බවට ද කඩුලු රකින්නන් පත්වූනා.

එහි මූලාරම්භය සිදු වූයේ 1992 වසරේ දී සිම්බාබ්වේ කඩුලු රකින පිතිකරු ඇන්ඩි ෆ්ලවර්ගේ ආගමනයෙන් අනතුරුවයි. පසුකාලීනව ඇඩම් ගිල්ක්‍රිස්ට්, කුමාර් සංගක්කාර, මහේන්ද්‍ර සිං දෝනි වැනි පුරාවෘත්ත පවා බිහිවූයේ ද එම භූමිකාවේ වැඩිදියුණුවට මූලිකත්වය ලබා දීමට කණ්ඩායම් පෙළඹීමත් සමඟින්. මේ අනුව කඩුලු රකින්නාගේ පිතිකරණ අංශය කණ්ඩායමට ඉතා වැදගත් සාධකයක් බවට පත්වුණේ මෙම යුගයේ පටන් ය.

  • තරග නිමා කරන්නා (The finisher)

මුල් යුගයේ දී අංක 6, 7 ස්ථානවල ක්‍රීඩා කළ පිතිකරුවන්ගේ භූමිකාව යම් විශේෂ නාමයකින් හැඳින්වූයේ නැතත් එම භූමිකාවට වටිනාකමක් එක්වූයේ 1994 වසරේ දී ඕස්ට්‍රේලියානු පිතිකරු මයිකල් බෙවන්ගේ ආගමනයත් සමඟින්.

මුල් යුගය තුළ එම ස්ථානවල පිතිකරණයේ යෙදුනේ මධ්‍යමාන මට්ටමේ (mediocre) පිතිකරුවන් වූවත් මෙම යුගයත් සමඟින් ඒ සඳහා කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවන් යෙදවීමට කණ්ඩායම් පෙළඹුනේ එම ස්ථානයට විශාල වගකීමක් ලබාදෙමින්.

මුල් කඩුලු දැවී ගිය අවස්ථාවල කණ්ඩායමේ නැංගුරම බවට පත්වීම, ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී ලකුණු වේගය වැඩිකිරීම, හඹා යන අවස්ථාවල දී ජයග්‍රහණය දක්වා රැගෙන යාම වැනි කාර්යභාරයන් හිමි වූයේ එම නිමාකරන්නාටයි.

මේ අනුව ඉහත සියලු අංක ඔස්සේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තරග නිමා කරන්නාගේ භූමිකාව හඳුන්වා දීමේ පුරෝගාමියා බවට පත් වූ බෙවන් ඊට උපරිම සාධාරණයක් ඉටු කිරීමත් සමඟ එය සුවිශේෂී භූමිකාවක් බවට පත්වුනා. පසුකාලීනව මහේන්ද්‍ර සිං දෝනි, මයිකල් හසී වැනි විශිෂ්ට තරග නිමාකරන්නන් ද බිහි වුයේ ඒ සමඟිනුයි.

එම යුගයට අයත් වූ ක්‍රීඩකයන් අතරින් මට අනුව හොඳම එක්දින කණ්ඩායම හැදෙන්නෙ මෙන්න මේ විදිහටයි.

මෙම කාල පරිච්ඡේදයේ හොඳම පිතිකරුවා වශයෙන් සචින් ටෙන්ඩුල්කාර් ද, වේගපන්දු යවන්නා වශයෙන් වසීම් අක්‍රම් ද, දඟපන්දු යවන්නා වශයෙන් මුත්තයියා මුරලිදරන් ද අවිවාදයෙන් තොරවම සැලකීමට ලක්වනවා.

එදාමෙදාතුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පුරාවෘත්ත ගණනක් බිහි වූ යුගය ද මෙය වශයෙන් අපට හඳුන්වන්න පුළුවන්. මෙම කාල පරිච්ඡේදයෙන් වසර 10කට ආසන්න කාලයක් ක්‍රිකට් ලොව අණසක පැතිරවූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

එම කාලසීමාව තුළ දී ඔවුන් ලෝක කුසලාන 3කම (1999, 2003, 2007) ජයග්‍රහණවලට උරුමකම් කීමට සමත් වුනේ එහි මූලික ප්‍රතිඵලයක් වශයෙන්. මේ යුගයේ පැවති අනෙක් ලෝක කුසලාන දෙකට හිමිකම් කීමට ශ්‍රී ලංකාව (1996) හා ඉන්දියාව (2011) සමත් වුනා.

නූතන යුගය (𝟮𝟬𝟭𝟭 ඔක්තෝබර්වර්තමානය දක්වා)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පිතිකරුවන්ට හිතකර නීතිරීති රැසක් ම එකවර හඳුන්වා දුන්නේ 2011 වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. ඉන් අනතුරුව එක්දින තරග රටාව මුළුමුනින්ම පිතිකරුවන්ගේ ආධිපත්‍යයයට නතු වූයේ පන්දු යවන්නන්ට යම් අවාසිසහගත තත්වයක් නිර්මාණය වෙමිනි. මැදි යුගය හා නූතන යුගය වශයෙන් වෙන් වීමට බලපෑ මූලික හේතුසාධකය වූයේ ද එයයි.

අන්ත දෙකකින් නව පන්දු දෙකක් භාවිත කිරීම, සංශෝධිත powerplay නීතිරීති ඇතුළු නීතිරීති කිහිපයක්ම එහි දී හඳුන්වා දෙනු ලැබුවා. (2005 වසරේ දී powerplay නීතිය මුලින්ම හඳුන්වා දුන්නත් පසුව එහි වෙනස්කම් සිදු කළා.) එමෙන්ම දැවී යාම් නැවත සලකා බැලීම් සඳහා නව තාක්ෂණයන් (DRS) ද එක්දින තරග රටාවට හඳුන්වාදුන්නේ මේ වසරේ සිටයි.

එම නීතිරීති වලට අමතරව පිතිකරුවන්ට හිතකර තණතීරු (විශේෂයෙන්ම flat tracks) බහුල වශයෙන් භාවිතා කිරීම, ප්‍රමාණයෙන් විශාල පිති (heavy bats) භාවිතා කිරීමට බොහෝ පිතිකරුවන් පෙළඹීම, හතරේ සීමා වල දුර අඩු කරමින් බොහෝ අවස්ථා වල ක්‍රීඩා කිරීම වැනි හේතුකාරණාත් සමඟින් මෙම තරග ආකෘතිය මුළුමුනින්ම පිතිකරුවන්ට වඩාත් වාසි සහගත එකක් බවට පරිවර්තනය වුනා.

තරග වාර්තාව 

  • මෙහි දැක්වෙන්නේ නූතන යුගය ආරම්භයේ සිට වර්තමානය දක්වා (2022 අප්‍රේල් මස) යුගයේ ක්‍රීඩා කරමින් සිටින හොඳම කණ්ඩායම් 9 (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය) විසින් රැස්කළ ලකුණු සංඛ්‍යාව සහ ඒ සම්බන්ධ අනෙකුත් දත්තයන් ය.

මේ අනුව නූතන යුගයේ කණ්ඩායමක් රැස්කරමින් සිටින ඉනිමක සාමාන්‍යය වන්නේ ලකුණු 275කි. (5.50(පන්දු වාරයකට ලබාගත් ලකුණු) x50(පන්දු වාර))

පළමු යුග දෙකටම වඩා හාත්පසින්ම වෙනස්ම ක්‍රිකට් යුගයක් බවට වර්තමාන එක්දින ක්‍රීඩාව (නූතන යුගය) පත් වූයේ ඉහත සඳහන් කළ හඳුන්වා දීම් සියල්ලේම ප්‍රතිඵලයක් වශයෙනි. මේ යුගයේ කණ්ඩායමක ලකුණු සාමාන්‍යය ඉහත පරිදී 275ක් වූවත් ඇතැම් විට 320/330 වැනි විශාල කණ්ඩායම් ලකුණු සංඛ්‍යා පවා තරගයක් ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවටත් නොවූ අවස්ථා වුවද තිබුණේ එහි බලපෑම හේතුවෙන්.

මෙම යුගයේ ආරම්භයත් සමඟින් සිදු වූ මූලිකතම වෙනස්කමක් බවට පත්වුණේ කණ්ඩායම්වල සංයුතියයි. ඒ මේ ලෙසින්.

  • කණ්ඩායම් සංයුතියේ සිදු වූ වෙනස

පළමු යුග දෙකට අයත් 1971 සිට 2011 ඔක්තෝබර් දක්වා ඇදීගිය වසර 40ක දීර්ඝ කාලපරිච්ඡේදය පුරාවටම කණ්ඩායමේ සංයුතිය බොහෝ විට සැකසුනේ පිතිකරුවන් 7ක් සහ පන්දු යවන්නන් 4ක් සමඟින්. (7-4 combination) ඒ අනුව එකල කණ්ඩායම්වල 5 වැනි හා 6 වැනි පන්දු යැවීමේ විකල්ප බවට බොහෝ විට පත්වූයේ පිතිකරණය මූලික කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයින් (batting all-rounders) හෝ බාග පන්දු යවන්නන් (part time bowlers)ය.

නමුත් ඉන් අනතුරුව ඇරඹි මෙම පිතිකරණයට හිතකර යුගයේ දී පිතිකරුවන් 6ක් හා පන්දු යවන්නන් 5ක් සමඟින් ක්‍රීඩා කිරීමට කණ්ඩායම් පෙළඹුනේ සංයුතියේ 5 වන පන්දු යවන්නාත් විශ්වාසවන්ත පන්දු යවන්නෙකු වීම මෙහි දී අනිවාර්ය කාරණයක් බවට පත්වීමත් සමඟින්.

එනම් පන්දුවාර 10ම යැවිය හැකි පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයින් (bowling all-rounders) හෝ පන්දු යැවීම හා පිතිකරණය යන අංශ දෙකම එක හා සමානව සමබර තුන් ඉරියව් ක්‍රීඩකයින් (genuine all-rounders) ය.

එසේ නොවූ බොහෝ අවස්ථාවල 5 වැනි පන්දු යවන්නා යම් ප්‍රහාරයකට ලක්වුණා. මෙම යුගයේ ක්‍රියාත්මක වන පිතිකරණයට හිතකර නීතිරීති හා අනෙක් සියළු කරුණු කාරණාත් සමඟින් 5 වැනි පන්දු යවන්නාගේ භූමිකාව වෙනස්වීමට ලක්වූයේ ඒ ලෙසින්.

වසර 11කට කාලයකට ආසන්න මෙම කාල සීමාවට අයත් ක්‍රීඩකයන් අතරින් මට අනුව හොඳම එක්දින කණ්ඩායම හැදෙන්නෙ මෙන්න මෙහෙමයි.

මෙම යුගයේ හොඳම පිතිකරුවා වශයෙන් විරාත් කෝලි ද, වේගපන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ද, දඟපන්දු යවන්නා ලෙස ඉම්රාන් තහීර් ඉදිරියෙන්ම රැඳී සිටිනවා.

නූතන යුගයේ සිදු වූ පරිවර්තනයන් සමඟින් ක්‍රීඩාවට යම් විවිධත්වයක් මුසු වීම අගය කළ යුතු කාරණයක්. නමුත් ප්‍රේක්ෂක ආකර්ශනය වැඩි වශයෙන් ඇත්තේ පිතිකරුවන් වෙත නිසා යන වාණිජමය පරමාර්ථයෙන් පමණක් ම පිත්ත හා පන්දුව අතර තිබෙන සමබරතාවය අඩු කිරීමට ඉඩ හරිනවා නම් එයින් හානි වන්නේ ක්‍රීඩාවේ ගුණාත්මක භාවයට බව මගේ පුද්ගලික හැඟීමයි. අනෙක් අතට නව තාක්ෂණය වැනි කරුණු සමඟ වර්තමාන ක්‍රීඩාව ඉදිරියට යාම මෙම යුගයේ ධනාත්මක ලක්ෂණ වශයෙන් සඳහන් කරන්න පුළුවන්.

ඉහත එක් එක් යුගයන්ට අයත් කණ්ඩායම්වල සෑම තේරීමක්ම සිදු කළේ එම ක්‍රීඩකයන් අදාළ කාල පරිච්ඡේදය තුළ දැක්වූ දක්ෂතා පමණක් සලකා බලමිනුයි. ඒ අනුව මින් යුගයන් දෙකකම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුගේ සලකා බලා ඇත්තේ ඔවුන් වඩාත් කැපීපෙනෙන දස්කම් දැක්වූ කාලසමයට අයත් යුගයයි. (උදා: මහේන්ද්‍ර සිං දෝනි – මැදි යුගය, ඒ.බී. ඩිවිලියර්ස් – නූතන යුගය)

සමස්ත කාලපරිච්ඡේදය

1971 වසර ආරම්භයේ සිට වර්තමානය දක්වා ගෙවී ගිය යුගයන් තුනකින් සමන්විත දීර්ඝ කාලපරිච්ඡේදය නොහොත් එදාමෙදාතුර එක්දින තරග ඉතිහාසය පුරාවට තම ආධිපත්‍යය පතුරවමින් සාර්ථකම එක්දින කණ්ඩායම බවට පත්වීමට හැකියාව ලැබුණේ ඕස්ට්‍රේලියාවටයි.

ඒ ලෝක කුසලාන පහක ශූරතා ද සමඟින් මේ දක්වා (2022 අප්‍රේල්) ක්‍රීඩා කළ එක්දින තරග 961න් 582ක්ම (63.26ක තරග ජයග්‍රාහි ප්‍රතිශතයක් සමඟ) ජයග්‍රහණය කරමින්.

ඉහත යුගයන් තුනේම සමස්තයක් වශයෙන් සැලකූ විට විව් රිචර්ඩ්ස්, සචින් ටෙන්ඩුල්කාර්, විරාත් කෝලි හා ඒ. බී. ඩිව්ලියර්ස් යන සිව් දෙනාව එදාමෙදාතුර බිහි වූ විශිෂ්ටතම එක්දින පිතිකරුවන් වශයෙන් ඉහළින් තබන්න අපට හැකියාවක් තිබෙනවා.

පන්දුකරණය සම්බන්ධව සැලකීමේ දී ඉහත දෙවන යුගයේ මෙන්ම එක්දින ඉතිහාසයේ ද බිහි වූ හොඳම වේග පන්දු යවන්නා ලෙස වසීම් අක්‍රම් ද, දඟපන්දු යවන්නා වශයෙන් මුත්තයියා මුරලිදරන් ද අවිවාදයෙන් තොරවම සලකනු ලබනවා.

එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් මේ යුගවල ක්‍රීඩකයන්ව එකිනෙකාව සැසඳීම තරමක් අපහසු කටයුත්තක් වූවත් එක් එක් ක්‍රීඩකයන් අදාල යුගයට සාපේක්ෂව දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් යුග තුනෙන්ම එක කණ්ඩායමක් හදන්න පුළුවන් වෙන්නෙ මේ විදිහට. ඒ කියන්නෙ එදාමෙදාතුර හොඳම එක්දින කණ්ඩායම මට අනුව හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

එක්දින පිටියේ වැඩිම පුරාවෘත්ත ගණනක් බිහි කළ ඉහත මැදි යුගයෙන් ක්‍රීඩකයන් 6 දෙනෙක්ම මෙම එදාමෙදාතුර හොඳම එක්දින කණ්ඩායමට ඇතුළත්. ඉහත කණ්ඩායම්වලට අයත් නොවූවද ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඩීන් ජෝන්ස්, ෂේන් වෝන්, ඩෙනිස් ලිලී, බ්‍රෙට් ලී, තිලකරත්න දිල්ෂාන්, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, චමින්ද වාස්, බ්‍රයන් ලාරා, ජාවෙඩ් මියන්ඩාඩ්, වකාර් යුනුස්, සක්ලේන් මුෂ්ටාක්, ෂෝන් පොලොක්, රොස් ටේලර් ඇතුළු තවත් සුවිශේෂී පුරාවෘත්ත රැසක් මෙම තරග රටාවේ කැපී පෙනෙන දස්කම් දක්වමින් ගෙවීගිය පනස් වසරකට අධික කාලපරිච්ඡේදය අතිශයින් වර්ණවත් කළා.

නිර්ණායකයන්

ඉහතින්ම සඳහන් කළ පරිදි ඕනෑම තරග රටාවක මොනයම් හෝ විශ්ලේෂණයක් සිදු කිරීමේ දී අදාළ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුගයන් වලට සාපේක්ෂ දක්ෂතා සලකාබැලිය යුත්තේ නිර්ණායකයන් රැසක් මත පදනම්වයි.

මෙහි දී ක්‍රීඩකයන්ගේ,

  • සමස්ත සංඛ්‍යාත්මක වාර්තාව
  • සංඛ්‍යාත්මක නොවන ඇතැම් කරුණු (ඇති කළ ජයග්‍රාහී බලපෑම (winning impact), ඕනෑම තරග ස්වභාවයකට අනුගත වීමේ හැකියාව (පීඩනය හමුවේ වුවද දැක්වූ දක්ෂතා), විශ්වාසනීයත්වය (reliability), තරගයක් තනිව වුවද වෙනස් කිරීමේ හැකියාව (game changing ability))
  • ක්‍රීඩක භූමිකාව (උදාහරණයක් වශයෙන් අංක 9-11 අතර පන්දුවට පහර දෙන ප්‍රධාන පන්දු යවන්නෙකුව (front-line bowler) තෝරාගැනීමේදී ඔහුගේ පිතිකරණ හැකියාව කෙසේ වුවත් පන්දු යැවීමට පමණක් මූලිකත්වය ලබාදීම)
  • කණ්ඩායමේ සමබරතාවය
  • ක්‍රීඩා කළ කාලයේ දිගුකාලීනත්වය (longevity)
  • දිගින් දිගටම දස්කම් අතර සිටීමේ හැකියාව (consistency)
  • වැඩිම විවිධත්වයන් හා හැකියාවන් සහිත වූ පිතිකරුවන් කවුද යන්න වග (තාක්ෂණය, හිඩැස් අතරින් ලකුණු ලබාගැනීම, තරග ස්වභාවය අනුව ඕනෑම මොහොතක පිතිකරණ ශෛලීය වෙනස් කිරීම,  වැඩිම පහරවල් ගණනකින් පිටිය සිසාරා ලකුණු ලබාගැනීම, ලකුණු හඹායෑම (chasing skills) වැනි හැකියාවන්)
  • වැඩිම විවිධත්වයන් (variations) සහිත වූ පන්දු යවන්නන් කවුද යන්න වග
  • පන්දු යවන්නන්ගේ අනෙකුත් සුවිශේෂී හැකියාවන් (ලකුණු ආරක්ෂා කරගැනීමේ හැකියාව, Power play අවස්ථාවට අනුගත වීම, අවසන් භාගයේ පන්දු යැවීමේ හැකියාව (death bowling skills), නව පන්දුවෙන් මෙන්ම පරණ පන්දුවෙන් ද දස්කම් දැක්වීමේ හැකියාව)
  • එකිනෙකට වෙනස් තණතිලි තත්ත්වයන් වලට අනුගත වීමේ හැකියාව (එක් එක් සත්කාරක රටවල් තුළදී දැක්වූ දක්ෂතා)
  • වැඩිම ප්‍රතිවාදී කණ්ඩායම් ගණනකට එරෙහිව සාර්ථක වූයේ කුමන ක්‍රීඩකයන්ද යන්න වග
  • අදාල පිතිකරණ හෝ පන්දු යැවීමේ ස්ථාන වලට අනුගත වූවා ද නැද්ද යන්න වග (තමන් ක්‍රීඩා කරන අවස්ථාවේ තිබෙන තරග ස්වභාවය සහ power play, death overs වැනි තරග අවස්ථාවන් අනුව ස්ථානයෙන් ස්ථානයට ලැබෙන පීඩනය වෙනස් නිසා.)
  • ප්‍රධාන තරගාවලි (ලෝක කුසලාන, ශූරයින්ගේ කුසලාන වැනි ICC තරගාවලි) වලදී සහ ප්‍රධාන තරග වලදී (අවසන් මහා තරග, අවසන් පූර්ව තරග) වල දැක්වූ දස්කම්

ඇතුළු තවත් නිර්ණායකයන් රැසක් ම අපට මෙතනදි පදනම් කරගැනීමට සිදුවනවා.

මේ නිසා යමෙක් තම පුද්ගලික අභිරුචිය මත පමණක් සිදු කරන ප්‍රියතම ක්‍රීඩකයන්ගේ එකතුවකට හොඳම කණ්ඩායම කියලා අර්ථ දක්වන්න අපිට හැකියාවක් නෑ.  මොකද ප්‍රියතම (favorite) සහ හොඳම (best) කියන්නෙ එකිනෙකට වෙනස් අර්ථයන් දෙකක්. නමුත් යම් විනිවිධභාවයකින් යුතුව සහ ක්‍රීඩා කළ යුගයට සාපේක්ෂව නිර්ණායක රැසක් පදනම් කරගනිමින්  තාර්කිකව කරන තක්සේරු කිරීමකට අපිට හොඳම කියන වචනය භාවිතා කරන්න පුළුවන්.

තවත් දෙයක් තමයි කාරණා එකක් හෝ දෙකක් නිසා පමණක්ම අනෙකුත් සියලු ප්‍රධාන නිර්ණායක අපට බැහැර කිරීමේ හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට යම් ක්‍රීඩකයෙක් කොයිතරම් ලොකු ජයග්‍රාහී බලපෑමක් එල්ල කළත් ඔහුට අනෙක් ක්‍රීඩකයන් හා සාපේක්ෂව වෙනස් තණතිලි තත්වයන්ට අනුගත වෙන්න බැරි වෙලා නම්, ප්‍රධාන තරගාවලිවල දීත් අඩු දස්කම් දක්වලා නම් සහ තවත් අංශ ඔස්සේ අසාර්ථක නම් අපට ඔහුව ඇතුළත් කිරීමේ හැකියාවක් නෑ.. ඒකෙ අනික් පැත්තත් එහෙමයි. වැඩිම නිර්ණායක ගණනක් ඔස්සේ සාර්ථක වූ ක්‍රීඩකයෙක්ට මෙහි දී ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඒ නිසායි.

ඒ වගේම තෝරාගත්ත එක් යුගයක ක්‍රිකට්වලට පමණක් ප්‍රමුඛත්වය ලබා නොදී මධ්‍යස්ථව සෑම යුගයකම දැක්වූ දක්ෂතා මෙහි දී අපට සලකා බැලීමට සිදුවෙනවා.

මීට අමතරව අංක කියන්නෙ හැමදේම නෙවෙයි කියලා ප්‍රධාන සංඛ්‍යානයන් 100%ක්ම බැහැර කරන්න මෙහිදී අපිට හැකියාවක් නැහැ.  ඒ දේවල් හැමදේම නෙවෙයි වුණත් අන්තගාමී නොවී මුළුමුණින්ම බැහැර කරනවා වෙනුවට ඒවාට අවම වශයෙන් 50%ක සැලකිල්ලක්වත් ලබාදෙන්න අපට සිදුවෙනවා. මොකද ඒ මුළු ක්‍රිකට් ලෝකයේම සම්මත වී ඇති පිළිගත් ප්‍රධාන නිර්ණායකයන් නිසා.  එසේ නොකිරීමෙන් යම් මධ්‍යමාන ක්‍රීඩකයන්ව අධිතක්සේරුවට ලක්වන අතරවාරයේ විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක්ව අවතක්සේරුවට ලක්වීම සිදුවීම වැනි දේ සිදුවන්න පුළුවන්.

පුරා අඩසියවසකට අධික කාලයක් පුරාවට ධනාත්මක මෙන්ම සෘණාත්මකව ද සිදු වූ නව්‍යතා සහ පරිවර්තනයන් සමඟින් එකිනෙකට වෙනස් අත්දැකීම් ලබාදුන්න එක්දින ආකෘතියේ යුග තුනේ කතන්දරේ තමයි මේ. ඒ වගේම එම වෙනස්කම් වලට අනුකූලව අදාල තරග රටාවේ විශ්ලේෂණයන්, සංසන්දනයන් හා තක්සේරු කිරීම් සිදුවිය යුතු ආකාරය පිළිබඳව මගේ දැක්ම මේකයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<