ඔහු සනත් ජයසූරිය සමඟ 2007 දී ආරම්භක පිතිකරණයේ යෙදුණු පිතිකරුවෙකි. පළමු පෙළ කඩුලු 800කට වඩා හිමි, ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තලයේ ප්‍රබල දඟපන්දු යවන්නෙකි.
2022 පෙබරවාරි මාසය වන විට, වැඩිම කඩුලු ලාභී ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යවන්නන් අතර පස්වැන්නා යි. ඔහු දිල්රුවන් පෙරේරා ය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී සති කිහිපයක් ඉක්ම යන මොහොතේ දී ඔහු හා පැවැත්වූ මෙම සම්මුඛ සාකච්ඡාව ඔබ වෙනුවෙන් ලියා තබමි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථක කාල වකවානුවක දී ඔවුන් ලද විශේෂ ජයග්‍රහණ කිහිපයක් ඇත. 2016 ඕස්ට්‍රේලියාවට එරෙහි 3-0ක පූර්ණ තරගාවලි ජයග්‍රහණය, 2017 මැදපෙරදිග ටෙස්ට් සංචාරයේ දී 2-0ක් ලෙස පාකිස්තානය පරාජය කිරීම ඉන් ප්‍රමුඛ වේ.
ඒ තරගාවලි දෙකෙහිදීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන දඟපන්දු යවන යුගලය විශාල කාර්යභාරයක් ඉටු කළ බව අපට මතකය. රංගන හේරත්-දිල්රුවන් පෙරේරා ඒ යුගලයයි. ඉන් රංගන ගැන අප කොතෙකුත් කතා කොට ඇත. දිල්රුවන් ගැන කතා කොට ඇති ප්‍රමාණය අවම ය.
දිල්රුවන් පෙරේරා ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන්නේ පානදුර නගරයෙනි. පානදුර සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ගැන ඔහුගේ පියාට ක්‍රිකට් බලාපොරොත්තු ඇතිවන්නේ දිල්රුවන්ගේ ලොකු තාත්තාගේ පුතණුවන් වූ මිගාර පෙරේරා එවකට නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා කළ බැවිනි.
“තාත්තත් ක්‍රිකට් ගහලා තියෙනවා. ඒත් ක්ලබ් ක්‍රිකට් වගේ ලොකු ක්‍රිකට් එකක් ගහලා නෑ. තාත්තට තමයි උනන්දුව තිබ්බේ. අපේ පවුලේම ලොකු අයියලා එක එක්කෙනාව ප්‍රැක්ටිස් වලට අරන් ගියා. ඒත් හරි ගියේ නෑ. මගෙත් වයස ආවයින් පස්සේ මාව අරන් ගියේ ප්‍රේමදාස සර් ගාවට.” දිල්රුවන් මෙලෙස සිහිකරන්නේ ප්‍රේමදාස සිල්වා ක්‍රිකට් පුහුණුකාරතුමාව ය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කෞෂාල් සිල්වාගේ පියාණන් ඔහු ය. ඔහුගෙන් මූලික ගුරුහරුකම් ලබන අවධියේ දී ම දිල්රුවන් තම සහෝදරයන්ට වඩා ක්‍රිකට් දස්කම් ප්‍රකට කළේය. එහෙත් ඒ කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු වශයෙනි.
“මටත් ආසාව තිබ්බා ක්‍රිකට් ගහන්න. දිගටම කරගෙන ගියා. මම ඉස්කෝලේ 15න් පහළ වෙනකම් ක්‍රීඩා කළේ කඩුලු රකින පිතිකරුවෙක් හැටියට. 19න් පහළ පළමු කණ්ඩායමට තේරිලා පළවෙනි අවුරුද්දේ තමයි මම පිට දඟපන්දු යවන්නෙක් හැටියට බෝල් කරන්න ගත්තේ. ෆස්ට් XI ඉවර වෙනකම් ක්‍රීඩා කළේ බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක් හැටියට.”
ඉන්පසුව ඔහු ක්‍රීඩා සමාජ හා ක්‍රීඩා කිරීමට එක්විය. පානදුරින් බිහිවන ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ මුල් අඩිතාලම වන පානදුර ක්‍රීඩා සමාජයත්, ඉන්පසුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත් නියෝජනය කළ ඔහු ක්‍රීඩාව දියුණු කරගත්තේය.
“පානදුර ක්ලබ් එකේ ඕපන් කරන්න තමයි මට චාන්ස් එක තිබ්බේ. පාසල් මට්ටමේ නැෂනල් සිලෙක්ෂන්ස් වලට කිහිපවතාවක්ම ගියා. ඒක හරි ගියේ නැතත් ක්‍රිකට් සෙල්ලම් කරගෙන ගියා.”
කෙසේ වෙතත් ඔහුගේ දස්කම් සදාකල් සඟවන්නට නොහැකි විය. දේශීය පිටියේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය තුළ ඔහුගේ දස්කම් දුටු එවකට ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ඔහුව ශ්‍රී ලංකා A කණ්ඩායමට ඇතුළත් කරගත්තේය. කෙටි කලකින්ම ඔහු පුල පුලා බලා සිටි ජාතික කණ්ඩායමේ ඉඩ ඔහුට විවර විය.
“හතු අයියා (හතුරුසිංහ) A ටීම් මැච් වල මාව ඕපන් කෙරෙව්වා. මගේ පළවෙනි A ටීම් මැච් එක තිබුනෙත් බංග්ලාදේශය එක්ක. ඒකෙත් මම ඕපන් තමයි කරේ. මං හැටගානක් ගැහුවා ඕපන් කරලා. 2007 ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ එංගලන්ත කණ්ඩායමත් එක්ක A ටීම් තරග වගයක් ඉවර වෙලා ඉද්දී තමයි මුරලි අයියා (මුත්තයියා මුරලිදරන්) ආබාධයකට ලක්වුණේ. ඒකෙදි මට චාන්ස් එකක් ආවා සනත් අයියත් එක්ක (සනත් ජයසූරිය) ඕපන් කරන්න.”
එය දිල්රුවන්ගේ පිත්ත හොඳින් කතා කරමින් සිටි කාල වකවානුවකි. 2007 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී පැවති සිය මංගල එක්දින තරගයේදීම සනත් ජයසූරිය වැනි එක්දින ක්‍රිකට් පුරාවෘත්තයක් සමඟින් පිතිකරණයේ යෙදීමේ භාග්‍යය ලද දිල්රුවන් පන්දු 41ක දී ලකුණු 30ක් වාර්තා කළේය.
කෙසේ වෙතත් පිට දඟපන්දු යවන්නෙකු වශයෙන් නමක් දිනාගෙන සිටි දිල්රුවන්ට එහි දී එකදු පන්දු වාරයක් හෝ යවන්නට නොහැකි විය. දිල්හාර ප්‍රනාන්දු ලකුණු 27කට කඩුලු 6ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළේ ලකුණු 107කිනි.
පසුව 2008 ඕස්ට්‍රේලියා-ඉන්දියා-ශ්‍රී ලංකා තුන්කොන් එක්දින සංචාරය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වන්නට ඔහුට වාසනාව ලැබුනත්, ආරම්භක පිතිකරුවෙකු ලෙස ලැබුණු අවස්ථා තුනක දී ඔහු අසාර්ථක විය. එහෙත් පළමු එක්දින තරග හතරේ දී ම ඔහුගේ සුපුරුදු කාර්යය කිරීමට ඔහුට හරිහැටි ඉඩ ලැබුණේ නැත. ඔහුට යවන්නට ලැබුණේ පන්දු වාර 7ක් පමණි. තරග 4කින් පසුව ඔහුව කණ්ඩායමෙන් ඉවතට විසිවිය.
“මම හිතුවා ආයේ ටීම් එකට එනවනම් එන්නේ බෝලර් කෙනෙක් හැටියට කියලා. එක්දින ක්‍රීඩකයෙක් වෙන්න තමයි මට කොහොමත් ආසාව තිබ්බේ. A ටීම් එකට හොඳට දස්කම් දැක්වුවා. 2008 දකුණු අප්‍රිකා සංචාරයකට ගිහින් ඇවිල්ලා ඉද්දි මාව කණ්ඩායමෙන් ඉවත් වුනා. දන්නෑ ඒ ඇයි කියලා. දකුණු අප්‍රිකාවෙදිත් මම විකට් අරන් තමයි ආවේ.”
එවැනි කලකිරීම් ඕනෑම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා දිවියක තිබිය හැකිය. එහෙත් දිල්රුවන් ඒ කිසිවකින් පසු නොබැස තම කාර්යයේ නියැලුණේය. ඔහුට අවශ්‍ය වුනේ පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටයි. ඒ සඳහා ඔහු කැපවුණේ ය.
“මම පුළුවන් තරම් මගේ බෝලින් ගැන උනන්දු වුනා. අංක 7, 8 වගේ බැට් කරගෙන කණ්ඩායමට එන්න තමයි උත්සාහ කළේ. 2011 පළාත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමෙන් පස්සෙ තමයි මාව 2011 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී කණ්ඩායමට ඇතුළත් කරන්නේ. එතනින් තමයි මගෙ නම ආයෙත් කියවෙන්නේ.”
2011 ඕස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේ දී පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයේ දී දිල්රුවන් පන්දුවාර 4ක දී ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඒ ෂෝන් මාෂ්, ඩේවිඩ් හසී සහ කැමරන් වයිට්ගේ ප්‍රබල කඩුලු දවා ගනිමිනි. ශ්‍රී ලංකාව ලකුණු 35කින් එම තරගය ජය ගත්තේය.
“2014 දී තමයි ආයෙත් ටෙස්ට් ටීම් එකට ආවේ. මම දැනගෙන හිටියා මගේ බෝලින් වලින් දෙයක් කරන්න පුළුවන් කියලා. 2011 විතර ඉඳන් දිගටම පියල් අයියත් එක්ක (පියල් විජේතුංග) වැඩ කරා. එහෙම ඉද්දී එවකට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මාව දැක්කා. එයා හිතුවා මාව ටෙස්ට් වලට ගොඩක් හොඳ වෙයි කියලා. එයා තමයි මාව පාකිස්තාන් ටුවර් එකට දැම්මේ.”
එක්දින සහ විස්සයි විස්ස පිටියට වරින් වර අත්හරිමින් පර්යේෂණය කළ දිල්රුවන්ගේ ස්ථාවර ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනය සිදු වුනේ එලෙසිනි. 2014 මැදපෙරදිග සංචාරයේ තෙවැනි ටෙස්ට් තරගයේ දී පාකිස්තානයට එරෙහිව රංගන හේරත්ගේ සහාය දඟපන්දු යවන්නා බවට දිල්රුවන් පත්විය.
එහි පළමු ඉනිමේ දී පිත්තෙන් ශතකයක් වාර්තා කර ගැනීමට තිබූ අවස්ථාව ඔහුට මඟ හැරුණේ ලකුණු 5කිනි. අංක 8 පිතිකරු ලෙස සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ශතකයක් වාර්තා කර ගැනීමට හැකි වූයේ නම් එය විශේෂ ඉනිමක් වන්නට බොහෝ සෙයින් ඉඩකඩ තිබූ බව කිවහැකිය.
පාකිස්තානයට එරෙහිව ඔහුගේ මංගල ටෙස්ට් තරගය ක්‍රියාත්මක වීම එක්තරා අතකින් විශේෂ සිදුවීමකි. දිල්රුවන්ගේ ප්‍රියතම දඟපන්දු යවන්නා වූයේ පාකිස්තානයේ සක්ලේන් මුෂ්ටාක් ය. එමෙන්ම මංගල එක්දින තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායමේ ග්‍රැහැම් ස්වෝන් ද ඔහුගේ ප්‍රියතම දඟපන්දු යවන්නෙකි.
“මම කැමතියි සක්ලේන් මුෂ්ටාක් ට. ග්‍රැහැම් ස්වෝන්ගේ ස්ටයිල් එකට තමයි මම කැමති වුනේ. ඒ විදිහට බෝලෙ ඩ්‍රිෆ්ට් කරලා මූලිකාංග හොඳටම කරන්නනෙ මම මහන්සි වුනේ. සක්ලේන් ව දැකලා තමයි මුලින්ම බෝල් කරන්න උනන්දු වුනේ. ඒත් ස්වෝන්ගේ ස්ටයිල් එක තමයි ගොඩක් බැලුවේ.”
දිල්රුවන්ගේ සිත දිනාගත් සක්ලේන් මුෂ්ටාක් යනු කවුද?
එය එලෙසම ය. දිල්රුවන් යනු ඇඟිලිවලින් පන්දුව දඟ කැවූ පන්දු යවන්නෙකි. පන්දුවේ වේගය එහා මෙහා කරමින්, පන්දුව ගුවනේ පා කර හරිමින් ගුවනේ දී එහි දිශාව යම් ආකාරයකට වෙනස් කළ හැකි දඟපන්දු යවන්නෙකි. එමෙන්ම පන්දුව ගුවනට මුදා හරින කෝණය වෙනස් කරමින් පිතිකරුවා ව වෙහෙසට පත්කිරීම ඔහුගේ තවත් උපක්‍රමයකි. මේ සියල්ල එංගලන්ත කණ්ඩායමේ ග්‍රැහැම් ස්වෝන් සතු වූ දස්කම් බව අපට මතකය.
2013/14 ශ්‍රී ලංකා දේශීය තලයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ව සිටි දිල්රුවන් 2014 සිට ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්විය. 2014 බංග්ලාදේශ සංචාරයේ දී ඔහු සිය මංගල ටෙස්ට් කඩුලු පහේ දස්කම වාර්තා කළේ තරගයේ ජයග්‍රහණයට එය අත්‍යාවශ්‍යව තිබූ මොහොතක දී ය.
එක දිගට පන්දු යැවීම ඔහුට වෙහෙසක් නොවීය. පළමු ටෙස්ට් තරග 7 අවසන් වන විට ඔහු කඩුලු 37ක් දවාගෙන තිබිණි. 2014 දී එංගලන්තය ටෙස්ට් තරගාවලියකින් පරදවා ශ්‍රී ලංකාව ලද ඓතිහාසික ජයග්‍රහණයේ දී ද ඔහු අතිරේක බංකුවේ සාමාජිකයෙකු විය.
2014 දී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට සංචාරය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දිල්රුවන් කඩුලු 16ක් දවා ගත්තේය. 2016 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ “අසාර්ථක” ශ්‍රී ලංකා සංචාරයේ දී දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර තරගයක දී සිය මංගල කඩුලු 10 වාර්තා කරගත්තේය. ඒ පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 6ක් වශයෙනි. එය ශ්‍රී ලංකාවට 3-0ක පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් විය.
ඉන්පසුව 2017 මැදපෙරදිග ටෙස්ට් සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ 2-0ක් ලෙස තරගාවලිය ජය ගත්තේය. එහි දී දිල්රුවන් විසින් වාර්තා කළ කඩුලු සංඛ්‍යාව 12කි.
අබුඩාබි හිදී පැවති එහි පළමු ටෙස්ට් තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 136ක ඉලක්කයක් රැකගෙන ප්‍රතිවාදීන්ව ලකුණු 114ක් තුළ දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනිණි. මේ සියල්ල සිදු වූයේ ලොව අග්‍රගණ්‍යම වමත් දඟපන්දු යවන්නා අනෙක් පන්දු සිටිය දී වීම ද විශේෂත්වයකි. රංගන හේරත් හට ඒ කාල වකවානුව පුරාම සහාය දක්වමින් ඔහුගේ කඩුලු ලබා ගැනීමේ සගයා වූයේ දිල්රුවන් ය.
වයස අවුරුදු 39 දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට දිල්රුවන් තීරණය කළේය. ඒ තවත් බලාපොරොත්තු කිහිපයක් වෙනුවෙනි.
“මම ක්‍රිකට් එක්කම ඉන්න තමයි බැලුවේ. ස්පින් බෝලින් කෝච් කෙනෙක් හැටියට ඉස්සරහට යන්න කැමතියි. ඒකට සුදුසුකම් හදාගන්න ඕන. LPL එකේ දී කොළඹ කණ්ඩායමත් එක්ක ඒකට අවස්ථාවක් ආවත් ඒ කාලෙ මට කොවිඩ් ආසාදනය වුණු නිසා ඒක නැති වුනා. මම හිතනවා ඉදිරියේ දී මට ඒ අවස්ථාව ලැබෙයි. මගෙ සුදුසුකම් ටිකත් හදාගන්න ඕන නිසා මම හිතුවා මේ තමයි හරි වෙලාව කියලා.”
දිල්රුවන් පෙරේරා හට ඇත්තේ තරග 43ක එතරම් දීර්ඝ නොවූ ටෙස්ට් ක්‍රිකට් දිවියකි. එහෙත් ශ්‍රී ලංකාව ලද සුවිශේෂී ටෙස්ට් ජයග්‍රහණ කිහිපයකම පිටුපස ඔහුගේ නමත් ලියැවී ඇත. ඔහු ජාත්‍යන්තර පිතිකරුවන් රැසකට පන්දු යවනු අප දැක ඇත. ඒ අතුරින් ඔහුට වඩාත්ම අභියෝගයක් වූ පිතිකරුවන් කවුරුන්දැයි කියා ද මම විමසුවෙමි.
“සෆ්රාස් අහමඩ් ටිකක් අමාරුයි. සෆ්රාසුයි යුනිස් ඛාන්ටයි තමයි. තව…ජෝ රූට්. ඔය තුන්දෙනාට තමයි. ඇත්තටම ජෝ රූට්ට බෝල් කරන්න තමයි මට ගොඩක්ම අමාරු වුනේ. ලංකාවේ නම් චාමර සිල්වට තමයි බෝල් කරන්න අකමැති.”
ජාත්‍යන්තර ක්‍රිකට් වලට සමුදෙන මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගැන ද වචනයක් කීමට ඔහු අමතක නොකළේය.
“ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ සපෝට් එකක් තියෙනවා. වැරදිත් හොයන්න ඕන. නැත්නම් හොඳ ප්ලේයර් කෙනෙක් හැදෙන්නෙ නෑනේ. ඇත්තටම ගාල්ලේ මැච් ගහද්දී නම් අපට හොඳ සපෝට් එකක් තිබිලා තියෙනවා.”
දිල්රුවන් මේ වන විට දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳත් ඔහුත් නිවසේ සතුටින් කල් ගෙවමින් සිටියි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සහ තරුණ ක්‍රීඩකයන් ගැන ඔහුට මෙවන් අදහසක් ඇත.
“අපේ එන ප්ලේයර්ස්ලා ඔක්කොම හොඳ දක්ෂයෝ. ඒත් අපේ කාලෙ වගේ නෙමෙයි, ක්ලබ් ලෙවල් එකේ දී ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස්ලා එක්ක සෙල්ලම් කරන්න ලැබෙන අවස්ථාව අඩුයි. මං හිතනවා ඉස්සරහට ඒගොල්ලන්ට එන පොඩි අයට උදව් කරගෙන, සෝෂල් මීඩියා වලින් පොඩ්ඩක් ඈත් වෙලා, ක්‍රිකට් ගැන ෆෝකස් කරා නම් මේ දැන් ඉන්න ප්ලේයර්ස්ලා එක්ක ගොඩක් දුර යන්න පුළුවන් කියලා.”
“ගේම් එකේ අත්‍යාවශ්‍යම තැන දී ගන්න ඕන තීරණ ගන්නෙ නැති එක තමයි මම අඩුපාඩුවක් හැටියට දකින්නේ. ක්ලබ් ලෙවල් එකේ දී අපට ලැබුණු එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ට ලැබුනෙ නැති හින්දා ඒගොල්ලන්ට හැමදේම ඉගෙනගන්න වෙන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ දී. එතෙන්ට ඇවිල්ලා ඒ ඔක්කොම කරන්න අමාරුයි. අපි ක්‍රීඩා කරද්දී අපට ක්ලබ් ලෙවල් එකේ දී ම ඒක ලැබුනා. මම හිතනවා ඒගොල්ලො මේ දේවල් ඉගෙන ගත්තහම ඉස්සරහ දී ක්‍රිකට් මීට වඩා හොඳ වෙයි කියලා.”
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට දිල්රුවන් පෙරේරාගේ පණිවුඩය එයයි. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මං සලකුණු වූ පානදුර ක්‍රීඩා සමාජයත්, ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරගැනීම වෙනුවෙන් ඔහුට බොහෝ සවියක් වූ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත්, සියලු පුහුණුකරුවනුත්, සහෝදර ක්‍රීඩකයිනුත්, ප්‍රේක්ෂකයිනුත් සිහිකරමින් ඔහු සාකච්ඡාව නිමා කළේය.
ඔහුගේ මීළඟ ඉනිම දඟපන්දු පුහුණුකරුවෙකුගේ චරිතයෙන් ආරම්භ වනු දැකීම ඔහුගේ මෙන්ම අපගේ ද බලාපොරොත්තුවයි. ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම සඵල වේවා!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<