සංගාට ICC Hall of Fame සමරු හිස් වැසුම පිරිනමයි

263

ICC Hall of Fame හෙවත් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ නායක කුමාර් සංගක්කාරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඊට අදාළ සමරු හිස් වැසුම ඊයේ (20) පිරිනැමුවා.

හිටපු ඉන්දීය නායකයෙකු සහ ICC Hall of Fame සාමාජිකයෙකු වන Sunil Gavaskar විසිනුයි එය පිරිනැමුවේ. Southampton හි  The Ageas Bowl පිටියේ දී පැවැත්වෙන ඉන්දු – නවසීලන්ත ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අතරතුරයි.

පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සමගාමීව ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකු ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට පසුගිය 13 වැනිදා ඇතුළත් කෙරුණා.

තවත් ක්‍රිකට් පුවත්:

ක්‍රිකට් ක්‍රීඩාව යුග පහකට වෙන් කරමින් මෙම ක්‍රීඩකයන් තෝරාගැනීම සිදු කර තිබූ අතර එක් එක් යුගය නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වූ ක්‍රීඩකයන් දෙදෙනා බැගින් තෝරා ගැනීම සිදුකර තිබුණා.

  • මුල් ක්‍රිකට් යුගය – EARLY CRICKET ERA (1918 වසරට පෙර කාලය)
  • අන්තර් යුද යුගය – INTER-WAR ERA (1918 සිට 1945 දක්වා කාලය)
  • යුද්ධයෙන් පසු යුගය- POST-WAR ERA (1946 සිට 1970 දක්වා කාලය)
  • එක්දින යුගය – ODI ERA (1964 සිට 1975 දක්වා කාලය)
  • නවීන ක්‍රිකට් යුගය -MODERN CRICKET ERA (1996 සිට 2015 දක්වා කාලය)

කුමාර් සංගක්කාර ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි. 1918 වසරට පෙර කාලයට අදාළව දකුණු අප්‍රිකාවේ Aubrey Faulkner හා ඕස්ට්‍රේලියාවේ Monty Noble  ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

1918 – 1945 කාලයට අදාළව ඊට ඇතුළත් කෙරුණේ බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Learie Constantine සහ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක Stan McCabe. 1946 – 1970 කාලය සඳහා අද දිනයේ දී  ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට එංගලන්තයේ Ted Dexter සහ ඉන්දියාවේ Vinoo Mankad ඇතුළත් කෙරුණා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Desmond Haynes හා එංගලන්තයේ Bob Willis 1971-1995 කාලයට අදාළවයි  ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ. සිම්බාබ්වේ හි ඇන්ඩි ෆ්ලවර් සහ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර 1996 – 2016 කාලයට අදාළව ඊට ඇතුළත් කෙරුණා.

ශ්‍රී ලංකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු වන කුමාර සංගක්කාර 2000 වසරේ සිට 2015 දක්වා දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් ලකුණු 12,400ක් සහ එක්දින ලකුණු 14,234ක් රැස් කිරීමට සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දැරූ සංගක්කාර 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා මෙහෙය වූයේ තරගාවලිය පුරාවට පිතිකරණයෙන් ලකුණු 465ක් රැස්කරමින්.

2015 වසරේ ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පූර්ණ වශයෙන් සමු දුන් කුමාර සංගක්කාර 2019 වසරේ සුප්‍රකට Marylebone ක්‍රිකට් සමාජයේ පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා ලෙස ද පත්වූ අතර වත්මන් සභාපතිවරයා ද වන්නේ ඔහුයි.

ඒ අනුව මේ වන විට ක්‍රීඩකයින් 103 දෙනෙකු  ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත්. ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර ඒ අතර සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වෙනවා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<