වඩුමඩුවෙන් බිහි වූ වේගපන්දු යවන්නා “ශිරාන්”

916

බංග්ලාදේශය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙන නවතම ක්‍රීඩකයා වන්නේ 28 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ශිරාන් අනුරුද්ධ ප්‍රනාන්දු ය. මොරටු පුරවරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වූ අලුත් ම ක්‍රීඩකයා ගැන ThePapare.com සටහනකි මේ.

“දන්න කියන දවස්වල ඉඳල ම මගේ අතේ තිබිල තියෙන්නේ බෝලෙයි, බැට් එකයි. කතාව තිබිල තියෙන්නෙත් ක්‍රිකට් ම තමයි. ඊට පස්සෙ මට තේරෙන වයසේ සිට ම ලොකු ආසාවක් තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වෙන්න. ඒත් ඉතිං, ඒ ගමන ගොඩක් දුරයි කියල තමයි අපි දැක්කේ. ඒ නිසා ගොඩක් වෙහෙස මහන්සි වෙන්න වුනා. ඇත්තට ම මේ ලැබුණ අවස්ථාව ගැන තියෙන්නේ කිව නොහැකි තරමේ සංතෝසයක්” ශිරාන් ThePapare.com සමඟ එක් වෙමින් කතාව ආරම්භ කළා.

ශිරාන් පාසල් ගියේ මොරටුව, පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට. ගොඩක් දෙනෙක්ට වගේ කුඩා කාලෙ දි ම පාසල් ක්‍රිකට් හා එක්වෙන්න ශිරාන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ, ඒ වෙද්දී මේ පාසලේ වයස අවුරුදු13න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් නොතිබුණ නිසා. 

“මම මුලින් ම ලෙදර් බෝල සෙල්ලම් කරන්නේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට. ඊට පස්සේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට. ඒකත් පාසල් ක්‍රිකට් සංගමයේ තෙවැනි පෙළ තරගාවලියට. ලැබුණ මැච් හැම එකක් ම හොඳට කළා. අපේ පාසලේ වයස අවුරුදු19න් පහළ කණ්ඩායමක් තිබුණේ නැහැ. මේ නිසා මගේ අදහස වුනේ වෙනත් පාසලකට ගිහින් හොඳින් සෙල්ලම් කරන්න. ඒත් ගෙදරින් ක්‍රිකට් වෙනුවෙන් මහා ලොකුවට වියදමක් කළේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්ත්වයකත් නෙමේ අපි හිටියේ.”

ශිරාන්ගේ පියා ගම් පළාත අනුව ආවේණික වූ වඩු කර්මාන්තයේ නියැලුණ අයෙක්. අම්මත් ඉඳ හිටක ලැබෙන පුටුවක් දෙකක් වියල ගෙදර වියදමට සහයෝගයක් ලබා දුන්නා. ශිරාන්ට තව නංගියෙකුත් ඉන්නවා. ජීවත් වූ නිවසට කුලියත් ගෙවා ගෙන අනිකුත් අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් යම්තම් පිරිමහ ගන්න විතරයි ඒ ‘ලැබීම’ ප්‍රමාණවත් වුනේ. 

මව සහ නැගණිය

කරදඬු උස් මහත් වෙමින් පැවති ශිරාන්ට මේ ‘ලැබීම‘ ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා ම, ඔහු ක්‍රීඩා නොකරන බොහෝ අවස්ථාවල අම්මගෙ හෝ තාත්තාගෙ වැඩවලට දායකත්වය දැක්වූවා. ඒත් ඒකට තාත්තගෙ එච්චර කැමැත්තක් තිබිල නෑ. 

“තාත්තත් ක්‍රිකට්වලට ගොඩක් ආසයි. තාත්තට ඕන වුනෙත් මම හොඳ පාසලක ක්‍රිකට් ගහනවා බලන්න. පාසල් වැඩ මඟ ඇරුනත්, තාත්තා කවදාවත් කැමති වුනේ නැහැ මම ක්‍රිකට් ගැහිල්ල මඟ ඇර ගන්නවට.”

හදවතේ එහෙම ගොඩක් බලාපොරොත්තු තබාගෙන හිටපු ශිරාන්ගේ තාත්තට, නොදැනුවත් ම තමන්ගේ ජීවිතය මඟ හැරෙනවා. ඔහුගේ වියෝවෙන් ශිරාන්ලා තවත් අසරණ වෙනවා. ගෙවල් කුලී ගෙවන්න, කෑම බීම වියදම්, පාසල් වියදම් මේ සියල්ල දරා ගන්න වෙන්නේ අම්මා කරන පුටු විවිල්ලෙන්.

“තාත්තා නැති වෙන කොට මම සාමාන්‍ය පෙළ ලිව්වා විතරයි. නංගිත් පුංචියි. අම්මටත් හැම දෙයක් ම තනියම කර ගන්න බැහැ. මටත් වෙන කරන්න දෙයක් තිබුනෙත් නැහැ. හිතාගන්නත් බැහැ. අන්තිමට මම තාත්තගෙ වඩු වැඩ ආයුධ කට්ටලේ අරගෙන පුළුවන් විදිහට වැඩ කරන්න ගත්තා.”

පොතට පතට යොමු වෙන්න ඕන කාලයේ ශිරාන්ට වුනේ නියනට, යතු කැටේට තම අත හුරු කර ගන්න. වෙනත් කරන්න දෙයක් නැති තැන අම්මට සිද්ධ වුනේ හූල්ලන්න විතරයි. ඒත් අවස්ථා දෙක තුනක දී ම අම්මා උත්සාහ කරනවා ශිරාන් නැවත පාසල් ගමන හා එක් කරන්න. ශිරාන්ගේ අම්මා, 46 වියැති ශිරන්ති කුරේ, නංගි 16 වියැති අමාෂා සෙව්වන්දි. මොරටුව රෝමානු කතෝලික විද්‍යාලයේ ඉගනුම ලබන ඇය පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී මේ වන විට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටිනවා. 

“තාත්තා නැති වුනේ 2009 අවුරුද්දේ. එතැනින් මගේ පාසල් ගමන නතර වුනා. අම්මට තනිව ම ගෙදර කටයුතු කරගෙන යන්න බැහැ. නංගිට උගන්නන්නත් ඕන. මේ දේවල් ගැන හිතද්දී මට පාසල් ගමනක් ගැන හිතුණෙ ම නෑ.”

ශිරාන් වඩු වැඩ රස්සාවේ නිරත වෙන ගමන් මොරටු මුල්ලේ යාළුවන් සමඟ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න ද අමතක කළේ නැහැ. ඔය අතර මොරටු ක්‍රීඩා සමාජය හා එක් වී වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කරනවා. 

“වඩු වැඩ කරන ගමන් ම තමයි මොරටු ක්‍රීඩා සමාජයට සෙල්ලම් කළේ. ඒ ගමන් ම ගමේ ක්‍රිකට් ගහන එකත් පුළුවන් විදිහට කළා. උදේ හවස පුහුණු වීම්වලට යනවා. දවල් දවසේ වැඩට යනවා. සමහර දවස්වලට රෑ දෙගොඩ හරියක් වෙනකනුත් වැඩ. නැවතත් ආයිමත් උදේට පුහුණුවීම්. එහෙම දවස්වලට අම්මා මාව බඳාගෙන අඬනවා. ‘ඔයාට ඔය දේවල් කරන්න බැහැ, දෙකෙන් එකක් තෝර ගන්න’ කියලා. මගේ කැමැත්ත තිබුණෙ ක්‍රිකට්වලට. ඒත් මට ඒක තෝර ගන්න බැහැ. මොකද ගෙදර ප්‍රශ්න මම දැනගෙන හිටියා. අම්මත් සමඟ මම හරි හම්බ කරන එකෙන් තමයි ගෙදර කටයුතු සිදු වුනේ. අපි දෙන්නගෙන් එක්කෙනෙක් වැඩ නොකළොත් ඒක ලොකු පාඩුවක්. අනිත් එක මට ඒ දවස්වල මහ ලොකු ගාණක් හම්බ වුනෙත් නැහැ. දවසකට රුපියල් 700ක්-800ක් වගේ ගාණක් තමයි  ලැබුණෙ.”

ශිරාන් මේ ආකාරයෙන් අවුරුදු 5ක් විතර වඩු වැඩ කට්ටල සමඟ ගත කරනවා. ඔය අතර වාරයේ ලැබෙන හැම නිවාඩුවක ම ක්‍රිකට් ගහන්නත් ශිරාන් අමතක කරන්නේ නැහැ. ඔය අතර ශිරාන්ට වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වෙනවා. 

“මම සෙල්ලම් කරනවා බලාගෙන හිටපු ලක්ෂාන් රොද්‍රිගෝ දවසක් මගෙන් ඇහුවා එයාගේ Club එකට සෙල්ලම් කරන්න එනව ද කියලා. ඒ වෙද්දී මට අවශ්‍ය වෙලා තිබුණෙ කොහේ හරි එක තැනකට වෙලා සෙල්ලම් කරන්න. මම ඒ ආරාධනාව ඉහළින් පිළිගත්තා. මම එල්. බී. එකේ අවුරුදු 4ක් විතර සෙල්ලම් කළා. එතැන තමයි මගේ ක්‍රිකට් ගමනේ ආරම්භය. එල්. බී. ෆිනෑන්ස් එක තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ කියන ගෞරවය කවදාවත් නැති වෙන්නෙ නැහැ.”

මේ අලුත් පිබිදීමෙන් අනතුරුව ටික කාලයකින් ශිරාන් වඩු වැඩවලට සම්පූර්ණයෙන් ම සමුදුන්නා.  

“ඒ අවුරුදු 4 දී මම ටිකක් කැපී පෙනෙන තත්ත්වයකට ආවා. වෙළඳසේවා එක්දින සහ විස්සයි විස්ස තරගවල වැඩිම කඩුලු ගත් මුල් කිහිප දෙනා අතර මම හිටියා.”

මේ අතර ඔහුට වෙළඳසේවා පිටිය තුළ දී මෙරට ජනප්‍රිය ඉහළ පෙළේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සමඟ ද කටයුතු කිරීමට අවස්ථාව උදා වෙනවා. ඒ අතර ගයාන් විජේකෝන් සහ චාමර සිල්වා විශේෂයි. සැරසන්ස් ක්‍රිකට් සමාජයෙන් ආරම්භ වෙන ශිරාන්ගේ ක්‍රීඩා සමාජ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයේ නිර්මාතෘවරුන් වෙන්නේ ඔවුන්.

“මම ඔවුන් දෙදෙනා එක්ව මුවර්ස් ක්‍රීඩා සමාජයටත් එක් වුනා. ඒ අවුරුද්දේ තුන්දින තරගවලට සහභාගී වෙන මම කඩුලු 23ක් ලබා ගනිමින් වේගපන්දු යවන්නන් අතර ඉහළ දක්ෂතා දක්වන පිරිස අතරට එක් වුනා. ඒ අතර ම මම පිතිකරුවෙක් ලෙසත් දක්ෂතා දක්වන්න සමත් වුනා. එම අවුරුද්දේ ම විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රාහකයන් වෙන්න අපට හැකි වුනා. අවසාන මහා තරගයේ දී පන්දු යවන්නෙක්ට අමතර ව පිතිකරුවෙක් ලෙසිනුත් දක්ෂතා දක්වන්න මට හැකි වුනා.”

මේ දක්ෂතාත් සමඟ ශිරාන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කල අන්තර් පළාත් එක්දින තරගාවලියේ සංචිත ගත ක්‍රීඩකයෙක් වීමට ද අවස්ථාව උදා වෙනවා. ඒ අතර ම ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණු සංචිතයේ ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කිරීමට ද ඔහුට අවස්ථාව උදා වෙනවා. 

“චමිල සර් (චමිල ගමගේ) මට මෙතැන දී ගොඩක් උදව් කරනවා. ඒ සංචිතයේ සිටිද්දී  ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්  කණ්ඩායම හා එක්ව බංග්ලාදේශයේ තරග සංචාරයක යෙදීමට අවස්ථාව උදා වෙනවා. එම තරග සංචාරයේ දක්ෂතා හේතුවෙන් ම බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ද ක්‍රීඩා කිරීමට මට අවස්ථාව උදා වෙනවා. එම තරගාවලියේ වැඩියෙන් ම කඩුලු ලබා ගත් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමටත් මට හැකි වෙනවා.”

වඩුමඩුවෙන් ඇරඹි ශිරාන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ගලා ගිය අයුරුයි ඒ. 

ටෙස්ට් පිටියේ අන්තිමයා, පළමුවැනියාට ගෙනා අයුරු

මීටර් 100 වාර්තා තබා ලකුණු 100න් ද වාර්තා තැබූ විෂ්මිත විෂ්මි

පැතුම්ගේ වික්‍රමාන්විත ටෙස්ට් සටනේ දුටු නොදුටු

පිට පිට වසර දෙකක දී Dialog 4G සම්මාන දිනූ බුද්ධිල

Video – තාත්තගේ සිහිනයට පණ දුන් ප්‍රවීන් ගැන මව සහ සොයුරා හඬ අවදි කරයි

“පොඩි කාලේ සිට ම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියන ආසාව තමයි මට තිබුණෙ. ඒ හීනය සැබෑ කර ගන්න උවමනාව තිබුණා. තාත්තා නැති වුනත්, කොච්චර අඩු-පාඩු තිබුනත් මගේ ඒ ආසාව නැති වුනේ නෑ. අම්මා ක්‍රිකට් නතර කරන්න කියල කිව්වත් මම අත ඇරියෙ නැහැ. අම්මා ක්‍රිකට් අතහරින්න කිව්වේ ඒකට අකමැති නිසා නෙමේ. මම වඩු වැඩත් එක්ක ගෙවපු ජීවිතය නිසා. මොකද ඒ අවස්ථාවේ අම්මට ක්‍රිකට්වලට වඩා වැදගත් වුනේ මගේ රස්සාව. මටත් ඒක දැනුණා. ඒත් මගේ යාළුවෝ කිව්වේ ක්‍රිකට් අත අරින්න එපා පුළුවන් විදිහට කරගෙන යමු, අපි උදව් කරන්නම් කියලා. තාත්තත් ක්‍රිකට්වලට මාර කැමැත්තකින් හිටියේ. තාත්තගෙත් ලොකු ආසාවක් තිබුණා මම ලොකු ක්‍රිකට් එකක් ගහන එක ගැන. අද මට ඒ හැමෝගෙම ආසාවන්, බලාපොරොත්තු ඉටු කරන්න හැකි වෙලා තියෙනවා.”

ශිරාන් මේ වන විට ක්‍රීඩා සමාජ කිහිපයක් සමඟ එක් වෙමින් පළමු පෙළ ක්‍රිකට් තරග 18කට ක්‍රීඩා කරමින් කඩුලු 43ක් ලබා සිටිනවා. එමෙන් ම විස්සයි විස්ස පිටියේ කඩුලු 27ක් ද ලබා ගැනීමට ඔහු සමත්ව සිටිනවා. එමෙන් ම පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ශිරාන්ට හැකියාව තිබෙනවා. 

“මට පිතිකරුවෙක් ලෙසිනුත් යමක් කරගන්න පුළුවන් කියන විශ්වාසයේ ඉන්නවා. ඒ වගේ ම එහෙම කරලත් තියෙනවා. කොහොම වුනත් මගේ බලාපොරොත්තුව ලංකාවේ හොඳ පන්දු යවන්නෙක් වෙලා රට වෙනුවෙන් වැඩි අවුරුදු ගාණක් නියෝජනය කරන්න. බංග්ලාදේශ සංචාරය ඒකට හොඳ අවස්ථාවක්. ඒ වගේ ම ඉෂ්ට නොවුණ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. විශේෂයෙන් ම අම්මත් නංගිත් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් රාශියක් තියෙනවා. මම විශ්වාස කරනවා මට මේ අවස්ථාව ලැබෙන්නේ ඔවුන්ගේ ද කැප කිරීම් නිසා කියලයි” ශිරාන් අප සමඟ පැවසුවා. 

හෙට දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සමඟ තම දක්ෂතා මුදා හැරීමට සූදානමින් සිටින ශිරාන් ප්‍රනාන්දුට ThePapare.com හී සුබ පැතුම්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<