පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් අද (21) නිමාව දුටුවා. එහි දී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කළ ආනන්ද විද්‍යාලයත්, සාන්ත පීතර විද්‍යාලය පරාජය කළ ධර්මාශෝක විද්‍යාලයත් Tier B අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ආනන්ද විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය
සාන්ත පීතර විදුහල් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන් සාන්ත අන්තෝනි පළමු ඉනිම ලකුණු 132කට සීමා කළා.
අපරාජිතව සිටිමින් මූලික වටය අවසන් කළ සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ගිහාන් සත්මික ලකුණු 29ක් ලබා ගන්නා විට, අබ්දුල් රහුමාන් ලකුණු 26කට දැවී ගියා. රොමේෂ් සුරංග ලකුණු 26යි. පන්දු යැවීමේ දී මහෝෂද ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.
ලක්ෂිත කුලරත්න සහ නෙත්ම කරුණාරත්න පිළිවෙළින් ලකුණු 31ක් සහ ලකුණු 29ක් ලබා ගනිමින් ආනන්ද විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභීන් වුනු අතර නිශාල් ධර්මරත්න ද ලකුණු 24ක් ලබා ගනිමින් ආනන්ද විද්‍යාල ලකුණු පුවරුව ගොඩනැංවීම සඳහා සහය වුනා. කවීෂ දුලංජන කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුවත් ආනන්ද විද්‍යාලයට එතරම් බලපෑමක් එල්ල කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ.
සාන්ත අන්තෝනි විද්‍යාලය – 132 (40.1): ගිහාන් සත්මික 29, අබ්දුල් රහුමාන් 26, රොමේෂ් සුරංග 26, මහෝෂද ප්‍රනාන්දු 3/18, සවිරු බණ්ඩාර 3/28, ඉසුරු අයේෂ් 2/21
ආනන්ද විද්‍යාලය – 134/5 (30.5): ලක්ෂිත කුලරත්න 31, නෙත්ම කරුණාරත්න 29, නුශාල් ධර්මරත්න 24, කවීෂ දුලංජන 2/33
ආනන්ද විද්‍යාලයට කඩුලු 5ක ජයක්
තවත් ක්‍රිකට් පුවත්:
- ධර්මසේන සහ පල්ලියගුරුගේ ප්‍රධාන විනිසුරුවන් ලෙස නම් කරයි
- සාන්ත ජෝසප් සහ මහානාම විද්‍යාල අවසන් පූර්ව වටයට
- මැදපෙළ අසාර්ථකත්වය ගැන Warner කනස්සල්ලෙන්
- 2021 T20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ නම් කෙරේ
සාන්ත පීතර විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය
ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ තණතිල්ල ආශ්‍රිතව තිබූ තෙත සහිත තත්වය නිසාවෙන් තරගයේ ආරම්භය මිනිත්තු කිහිපයකින් ප්‍රමාද වුනා. ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 40කට සීමා කිරීම සඳහා විනිසුරුවරුන් තීරණය කළා.
කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර නායක නිපුනක ෆොන්සේකා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් හට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම නිසාවෙන් ඔවුන්ට සිය පන්දුවාර 40 අවසානයේ දී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 153ක් පමණයි.
එහිදී වනුජ කුමාර ලකුණු 50ක් ලබාගෙන සාන්ත පීතර විද්‍යාලයට සවියක් වුනා. නිමාන් උමේෂ් ලකුණු 23යි. පන්දු යැවීමේ දී චානක ජනංග ලකුණු 45කට කඩුලු 4ක් දවා ගන්නා විට, සහන් සංකල්ප කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 154ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 24ක සබඳතාවයක් ගොඩනැගුවා.
අනතුරුව පිටියට පැමිණි හසිත රාජපක්ෂ පන්දු 40ක දී 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 27ක් ලබාගෙන ධර්මාශෝක විද්‍යාලයට අවශ්‍ය මූලික අඩිතාලම ගොඩනංවා දුන් අතර නායක ලොහාන් අරෝෂණ සහ නවීන් රසාංග නොදැවී පිතිකරණයේ නිරත වෙමින් සිය විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කළා.
ලොහාන්ගේ ඉනිම සඳහා 4 පහර දෙකක් ඇතුළත් වුනා. නවීන් 4 පහර තුනක් එල්ල කරමින් ලකුණු 29*ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී මොනිල් සිල්වා ලකුණු 16කට කඩුලු දෙකක් දවා ගත්තා.
සාන්ත පීතර විද්‍යාලය – 153/9 (40): වනුජ කුමාර 50, නිමාන් උමේෂ් 23, චානක ජනංග 4/45, සහන් සංකල්ප 3/17, ලොහාන් අරෝෂණ 2/34
ධර්මාශෝක විද්‍යාලය – 156/5 (38.4): ලොහාන් අරෝෂණ 36*, නවීන් රසාංග 29*, හසිත රාජපක්ෂ 27, මොනිල් සිල්වා 2/16
ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 5ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<