නේපාල ප්‍රහාරයෙන් පොලිස් කණ්ඩායමට දරුණු පරාජයක්

303

AFC කුසලාන පාපන්දු තරගාවලියේ තරගයක් ලෙස ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය නේපාලයේ Tribhuvan Army ක්‍රීඩා සමාජය අතර තරගය අද (07) දින පැවැත්වුනා. තරගය ගෝල 5 – 1 ලෙස ජයගත්තේ Tribhuvan Army ක්‍රීඩා සමාජයයි

2021 AFC කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ තේරීම් තරගයක් වූ මෙම තරගය නේපාලයේ කත්මණ්ඩුහි Dasarath ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා

තරගයට උණුසුම් ආරම්භයක් ලබා දෙමින් 27 වන මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායම තරගයේ පළමු ගෝලය වාර්තා කළා. පිටිය මැද සිට යොමු වූ පන්දුවක් අලංකාර ලෙස ගෝලය වෙත යොමු කරමින් Evans Asante තරගයේ පළමු ගෝලය වාර්තා කළා

අනතුරුව ඉතා ආසන්න අවස්ථා කිහිපයක් නේපාල Tribhuvan කණ්ඩායමට මඟහැරුනු නමුත් පළමු අර්ධය නිමාවන්නට පෙර තවත් ගෝල දෙකක් වාර්තා කරන්නට ඔවුන් සමත් වුනේ තරගය පොලිස් කණ්ඩායමෙන් උදුරා ගනිමිනුයි

තවත් පාපන්දු පුවත් කියවන්න: 

දඬුවම් පහර චතුරශ්‍රයෙන් පිටට ගුවනේ පාවී පන්දුවක් Santosh නිවැරදිව එල්ලය ගෙන ගෝල රාමුව තුළට එල්ල කළේ තරගයේ ගෝල තත්වය සම කරමිනුයි. ගෝලයෙන් ජවය ලැබූ Nawug Shrestha ඊට මිනිත්තු දෙකකට පසුව 42 වන මිනිත්තුවේ දී සිය හිසෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් තවත් ගෝලයක් වාර්තා කළේ තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට රැගෙන යමිනුයි

පළමු අර්ධය :  Tribhuvan Army ක්‍රීඩා සමාජය 2 – 1 ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය 

පොලිස් කණ්ඩායම තවත් පසුපසට ඇද දමමින් දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟම තවත් ගෝලයක් වාර්තා කරන්නට Tribhuvan කණ්ඩායම සමත් වුනා. Tanka B Basnet 49 වන මිනිත්තුවේ දී තෙවන Tribhuvan ගෝලය තමන්ගේ නමට ලියා ගත්තා

අනතුරුව අවස්ථා කිහිපයක දීම ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩකයින් ගෝල වාර්තා කරන්නට උත්සාහ කළත් එම උත්සාහයන් සාර්ථක වුනේ නැහැ. 82 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වෙමින් පොලිස් දැල් රකින්නා පොලිස් ආරක්ෂක ක්‍රීඩකයෙක් මනා ලෙස නොමඟ යවමින් Sudhil සිව්වන Tribhuvan ගෝලයත් වාර්තා කළේ තරගය සම්පුර්ණයෙන්ම පොලිස් කණ්ඩායමෙන් ඉවතට රැගෙන යමිනුයි. පොලිස් ක්‍රීඩා සමාජය තවත් රිදවමින් තරගයේ අවසන් මිනිත්තුවේ දීද Tribhuvan ක්‍රීඩා සමාජයේ Nawyug තවත් ගෝලයක් වාර්තා කළේ ලකුණු පුවරුව 5-1 ක් බවට පත්කරමින්

අවසන් ලකුණු තත්වය : Tribhuvan Army ක්‍රීඩා සමාජය 5 – 1 ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය 

  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<