මුරලිගෙන් බෝලේ උදුරා ගත්ත හැටි ගැන සංගා හෙළිකරයි

851

ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සියලු දෙනාම පාහේ දෑස් දල්වා බලා සිටින්නේ අප්‍රේල් 9 වැනිදා IPL තරගාවලිය ආරම්භ වන තුරුයි. මේ වන විට තරගාවලිය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර ක්‍රීඩකයින් පුහුණුවීම් ද ආරම්භ කර තිබෙනවා.

Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක වන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ද මේ වන විට නිරෝධායනයේ සිටින්නේ IPL 2021 තරගාවලියට සහභාගී වීමේ අරමුණින්. 

Rajasthan කණ්ඩායමේ Twitter ගිණුම ඔස්සේ සංගක්කාර සිය කණ්ඩායමේ හිටපු සගයෙකු වන මුත්තයියා මුරලිදරන්ට සිදු වුණු සිදුවීමක් ගැන අදහස් දක්වා තිබුණා. ඒ වරෙක මුරලි නොනවත්වා පුහුණුවීම් කරනු දුටු පුහුණුකරු ඔහුගෙන් පන්දුව උදුරා ගත් අවස්ථාවක් මෙනෙහි කරමින්. ලොව එදා මෙදා තුර බිහි වූ හොඳම පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් බවට ද සංගක්කාර පවසා සිටියා.

“මුරලි හැමදාම පුහුණුවීම්වලට ඇවිත් මිනිත්තු කිහිපයක් කඩුල්ල ඉලක්ක කරගෙන පන්දු යවනවා. පසුව ඔහු දැල් තුළ සියලු පිතිකරුවන්ට පන්දු යවනවා. පසුව ඔහු නැවත කඩුල්ලට පන්දු යවනවා තනිවම. පැය දෙකක් විතර මෙහෙම ඔහු නොනවත්වා පන්දු යවනවා. වරක පුහුණුකරුවා ඔහුව නවත්වන්න කියලා ඔහුගෙන් පන්දුව උදුරා ගත්තා. ඔහු කඩුලු 600ක් අරන් හිටියේ, ඔහු තවමත් මොකද කරන්නේ? මෙච්චර පන්දු යවමින්.”

තවත් ක්‍රිකට් පුවත්:

“ඉතින් මම ගිහින් ඔහුගෙන් ඇහුවා, ඇයි ඔබ මෙහෙම කරන්නේ කියලා. ඔබ කඩුලු ගොඩක් අරන් තියෙනවා, ඔබ මෙච්චර මහන්සි වෙලා පුහුණුවීම් කරන්න ඕනේ නෑනේ. මට තවම මතකයි ඔහු දුන්න උත්තරය. ‘සංගා මම කොච්චර කඩුලු අරන් තියෙනවා ද කියන එක වැඩක් නැහැ. මට වැදගත්ම දේ තමයි මම දිගටම මහන්සි වෙලා පුහුණුවීම් කරන එක. මොකද මම මහන්සි වෙලා පුහුණු වෙන විදියට, මම පිතිකරුවන්ට පන්දු යවමින් පුහුණු වෙන විදියට මට පුරුද්දක් ඇති වෙනවා තරගයකට ගිහින් ඇස් වහගෙන වුනත් මට ඕනේ තැන පන්දුව පතිත කරන්න.'”

“ඔහු පවසා සිටියා ඔහුට විශ්වාසය ලැබුණේ දූස්රා පන්දු වෙන්වත්, දඟ කැවීමෙන්වත් නෙවෙයි, හොඳින් පුහුණුවීම් කිරීම නිසයි. ඔහු කිව්වා ඔහු කිසිම දවසක මේ දෙය සැහැල්ලුවට ගන්නේ නැහැ මොකද ඔහුට හැමදාම දක්ෂතා අතර ඉන්න ඕනේ නිසා කියලා.”

මුත්තයියා මුරලිදරන් ලොව බිහිවූ සාර්ථකම පන්දු යවන්නෙක්. ඔහු ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන තිබෙන අතර, එක්දින කඩුලු 534ක් හා IPL කඩුලු 63ක් ද ඔහු සතුයි.

Newswire ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<