Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවට අදාළව අද (06) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගවලින් Renown SC සහ Blue Eagles SC කණ්ඩායම් පරදවමින් ජයග්‍රහණය ලබා ගැනීමට Red Stars FC සහ Up Country Lions FC කණ්ඩායම් සමත් වුනා.
Renown SC – Red Stars FC
තරගයෙ 9 වැනි මිනිත්තුවේ සිය දඬුවම් රාමුව තුළ දී Renown SC ක්‍රීඩකයෙකු කළ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන් දඬුවම් පහර අවස්ථාවක් Red Stars FC ක්‍රීඩකයන්ට හිමි වූ නමුත් එය සාර්ථක කරගැනීමට Red Stars නායක මොහොමඩ් රමීස් සමත් වුනේ නැහැ.
නමුත් තරගයේ 40 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසාවෙන් හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට Red Stars ක්‍රීඩක මොහොමඩ් ෆර්හාන් සමත් වුනා.
සිදු වූ තරමක පසුබෑමෙන් පසුව පළමු අර්ධයේ අමතර මිනිත්තු කිහිපයේ දී (45+1’) දඬුවම් රාමුවෙන් පිටත සිට අලංකාර පහරක් ගෝලය වෙත එල්ල කරමින් ගෝල තත්වය සමව පළමු අර්ධය අවසන් කිරීමට Red Stars ක්‍රීඩක අමාන් ෆයිසර් සමත් වුනා.
දෙපිලටම සම වූ පළමු අර්ධයෙන් අනතුරුව තරගයේ 53’ වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට ලැබුණු පන්දුවක් ගෝලය වෙත යොමු කරමින් සිය කණ්ඩායමට දෙවන ගෝලය රැස්කර දීමට Red Stars ක්‍රීඩක මොහොමඩ් උස්මාන් සමත් වුනා.
එම ගෝලයෙන් පසුව දෙවන අර්ධය තුළ දී කිසිදු ගෝලයක් රැස්කිරීමට දෙපිලේම ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසාවෙන් තරගය Red Stars ක්‍රීඩකයන්ට ජය ගෙන දෙමින් අවසන් වුනා.
අවසන් ලකුණු තත්වය: Red Stars FC 2 – 1 Renown SC
ගෝල රැස්කළ ක්‍රීඩකයින්:
- Renown SC: අමාන් ෆයිසර් 45+1’
- Red Stars FC: මොහොමඩ් ෆර්හාන් 40’ (P), මොහොමඩ් උස්මාන් 53’
තවත් පාපන්දු පුවත්:
- Ratnamට පළමු ජය; Blue Eagles, New Youngs සමයි
- Colombo FCට මුල්ම ජය; Defenders, Renown ගැටුම අවලංගුයි
- Defenders මුල්ම ජය ලබද්දී, Colombo FCට දෙවන ජය
Up Country Lions FC – Blue Eagles SC
තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට Up Country Lions ක්‍රීඩකයන් සමත් වූ අතර තරගයේ 19 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුල සිට පහරක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට එවන්ස් අසාන්තේ සමත් වුනා.
එම ගෝලයෙන් පසුව Up Country Lions ක්‍රීඩකයන්ට තරමක පීඩනයක් එල්ල කිරීමට Blue Eagles ක්‍රීඩකයන් සමත් වූ නමුත් ගෝලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා පළමු අර්ධය Up Country Lions ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් අවසන් වුනා.
තරගයේ 53 වැනි මිනිත්තුවේ දී කවිඳු ඉෂාන් යොමු කළ පන්දුවක් සාර්ථකව ගෝලය වෙත එල්ල කරමින් මෙරට දී ලබා ගත් මුල්ම ගෝලය ලබා ගනිමින් සිය කණ්ඩායමට අවශ්‍ය පරතරය ලබා දීමට වසීක් රාසීක් සමත් වුනා.
නැවතත් තරගයේ 78 වැනි මිනිත්තුවේ දී ලද පැති පහර අවස්ථාවක් සාර්ථකව ගෝලය වෙත එල්ල කරමින් සිය පැරණි සගයන්ට එරෙහිව තරගයේ තෙවැනි ගෝලය රැස් කිරීමට Up Country Lions ක්‍රීඩක කවිඳු ඉෂාන් සමත් වුනා.
අවසන් ලකුණු තත්වය: Blue Eagles SC 0 – 3 Up Country Lions FC
ගෝල රැස්කළ ක්‍රීඩකයින්:
- Up Country Lions FC: එවන්ස් අසාන්තේ 19’, වසීම් රාසීක් 53’, කවිඳු ඉෂාන් 78’
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<