ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා පසුගිය දා සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළා.
ඉන්පසුව පසුගිය දිනක ද මෙල් මහතා “සලකුණ” සජීව රූපවාහිනි වැඩසටහන සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ප්‍රේක්ෂකයින්ට තිබෙන ගැටලු රැසක් සඳහා පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතුලාන්තය පිළිබඳව හෙළිදරව් රැසක් සිදු කළා.
“ඔබ ඉල්ලා අස්වූ පමණින් ඔබ එම වගකීමෙන් නිදහස් වෙනවද?”
“විස්සයි විස්ස ගත්තහම අපි දෙවන පෙළ කණ්ඩායමක් අරගෙන ගිහින් පාකිස්තානයේ දී ඔවුන්ව 3-0ක් ලෙස පරාජය කළා. අන්තිම ටෙස්ට් තරගාවලි දෙක ඇරෙන්න අපි ඒ වෙනකන් සැලකිය යුතු මට්ටමකට හොඳටම කළා.”
“මේ ශ්‍රේණිගත කිරීම්වල අපි යටින් ඉන්න වගකීම කවුරු හරි කිව්වොත් ඔබ භාර ගන්න ඕනේ කියලා ඔබ එය භාර ගන්නවා ද?”
“නැහැ. මම හිතන්නේ අපි මේ අන්තිම ටෙස්ට් තරග 4 පරාජය වුනා කියලා අපි ලොකුවට ශ්‍රේණිගත කිරීම්වල පසු බහින්නේ නැහැ. මොකද ඒ කණ්ඩායම් ඔක්කොම අපිට උඩින් ඉන්නේ. දකුණු අප්‍රිකාවට ගිය සංචාරයේ දී අපි කිසිම පුහුණුවක් සහ සැලසුමක් නැතිව ගියේ, 2020 පෙබරවාරි වල සිම්බාබ්වේ තරගාවලියෙන් පස්සේ රතු පන්දුවෙන් අපි ක්‍රිකට් ගහලම නැහැ. ඊට පස්සේ කොදෙව් තරගාවලිය සුදු පන්දුවෙන් සෙල්ලම් කළා ලංකාවේ දී. මාර්තු මාසෙන් පස්සේ LPL එක ගහනකම් කිසිම ක්‍රිකට් එකක් අපි ගැහුවේ නැහැ. මම හිතන්නේ අපේ ප්‍රධාන පුහුණුකරු ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලියුමකුත් ලිව්වා දකුණු අප්‍රිකානු සංචාරය යනවා නම් මෙහෙම LPL එක ගහන්න එපා කියලා.”
තවත් ක්‍රිකට් පුවත්:
- වසර 87කට පසු රංජි කුසලානය අවලංගු වෙයි
- ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය පස්සට යවයි
- 2021 IPL ඉන්දියාවේ දී; ක්‍රීඩකයන්ට එන්නත් ලබා දෙන්නත් සැලසුම
- කොරෝනා මාරයාගෙන් Moeen Ali ගැලවුණු හැටි
“දකුණු අප්‍රිකානු තරගාවලියට කණ්ඩායම යන්න කළින්ම ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකාවට ගියා නේද?”
“ඇත්තටම වුනේ මෙහෙමයි, ඒ තරගාවලියට යන්න කලින් අපි ක්‍රිකට් පරිපාලනයත් එක්ක මේ තරගාවලියට යන එකේ අවදානම ගැන කතා කළා. මොකද ඒ රටේ කොවිඩ් ගොඩක් දරුණුවට තිබ්බා, අනෙක් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපයකට කොරෝනා හැදිලත් තිබ්බා. ඒ වගේම අපිට ඊට පස්සේ ලංකාවේ දී එංගලන්ත ටෙස්ට් තරගාවලියත් තිබ්බා. දකුණු අප්‍රිකානු සංචාරයට ගහින් මෙහාට එනකොට අපේ කාට හරි කොවිඩ් හැදිලා තිබ්බොත් එංගලන්ත තරගාවලිය අවලංගු වෙනවා. එහෙම වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එකේ Tv rights වලින් ලැබෙන මුදල් ලැබෙන්න නැහැ. ඒ වගේම අපිට නිසි පුහුණුවක් සහ සැලසුමක් තිබ්බ නැති එකත් එක්ක, අපි එම හමුවේ දී තීරණය කළා මේ දකුණු අප්‍රිකානු තරගාවලිය නොයා ඉන්න.”
එහෙනම් ඇයි ගියේ?
“එම හමුවට දින දෙකකින් පස්සේ එක පාරටම අපිට පණිවිඩයක් ආවා දකුණු අප්‍රිකානු සංචාරය යන්න ලෑස්ති වෙන්න කියලා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරිපාලනයත් මේ වකවානුව තුල පරිපාලනය සහ මූල්‍යමය ලෙස යම් අපහසුතාවයක හිටිය නිසා මම හිතන්නේ ඔවුන්ගෙන් යම් පීඩනයක් අපේ ක්‍රිකට් ආයතනයට ආවා. මොකද මේ බොක්සිං දින ටෙස්ට් තරගයක TV rights ගොඩක් වටිනවා ඒ අදාළ රටේ ක්‍රිකට් පරිපාලනයට. අපිට මේ තරගාවලියේ තරග කාලසටහන වෙනස්කරගෙන සෙල්ලම් කරන්නත් ඉඩ තිබ්බා. මම කිව්වා මේ දකුණු අප්‍රිකානු සංචාරය යන්න එපා අපිට දකුණු අප්‍රිකාවට ගියොත් ඉල්ලන් කන්න වෙන්නේ කියලා.”
“අපි මුලින්ම යන්නේ නැහැ කියලා තීරණය කළා, හැබැයි යම් බලපෑමක් නිසා ඒ තීරණය වෙනස් වුනා. මම දන්නේ නැහැ හරියටම මොකක්ද ඒ බලපෑම කියලා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් හරි එම්බසි එකෙන් හරි මේ කොහෙන් හරි අපේ ක්‍රිකට් පරිපාලනයට පීඩනයක් ආවා, ඒ තරගාවලිය ඉක්මනින්ම සහ කලින් සැලසුම් කළ විදිහටම තියන්න.”
“LPL එකයි මේ දකුණු අප්‍රිකානු සංචාරයයි ඒක ළඟ වැඩි වුනා නම් වෙනස් කරගන්න තිබ්බා නේ?”
“කෝවිඩ් නිසා LPL එක තියන්න තිබ්බ කාලයට වඩා පස්සට ආවා, අන්තිමට පස්සට ගිහින් ගිහින් දකුණු අප්‍රිකානු සංචාරය ළඟටම ආවා. පුහුණුකරුත් මේ තරගාවලි දෙක එක ළඟ ගහන වගේම පුහුණුවක් නැතිව අපේ කණ්ඩායම එහාට ගහින් ගන්න අවදානම ගැන ලියුමක් දුන්නා.”
“කොහොමද ඔබ තුමා මේ තේරීම් කටයුතු කරන්නේ?”
“ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරන්නේ ක්‍රීඩා අමාත්‍යතුමා නේ. අපි මුලින්ම දස්කම් අනුව සහ කණ්ඩායමේ අවශ්‍යතාවය මත ක්‍රීඩකයින් 35කින් වගේ සංචිතයක් තෝරාගන්නවා. පස්සේ අපි සාමාන්‍ය තරගාවලියක් යනවා නම් ඒක අඩු කරනවා ක්‍රීඩකයින් 15ට, හැබැයි මේ කෝවිඩ් නිසා ඒක 22ක් වුනා. අපි ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ලෙස සංචිත කිහිපයක් ඉන්නවා. හැබැයි සමහර ක්‍රීඩකයින් ඉන්නවා මේ සංචිත තුනේම ඉන්නවා.”
“LPL එකත් ගහලා ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව?”
“LPL කියන්නේ උදේ සෙල්ලම් කරනවා රෑ 10ට ගහනවා. 2ට බුදියගෙන පාර්ටි දාන මේකක් නේ. මේකේ කිසිම ක්‍රිකට් එකක් නැහැ. මේක නිකන් ක්‍රිකට් කාර්නිවල් එකක් වගේ. මම physio කරන අයගෙන් ඇහුවා, ඒ ක්‍රීඩකයින් මුකුත්ම හරියට කරලා නැහැ. LPL එක හොඳයි, හැබැයි හරියට සැලසුම් කරලා හරි කාලේ දී ගහන්න ඕනේ. මොකද LPL එකෙන් අපි හරියට නොදැකපු අලුත් ක්‍රීඩකයින්ගේ දස්කම් බලාගන්න අවස්ථාව ලැබෙනවා තේරීම් කමිටුව හැටියට.”
“ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් සිදු කරන ව්‍යායාම් වලට ඔබට යම් නියාමනයක්/මැදිහත් වීමක් දෙන්න බැරි ද?”
“නෑ නෑ අපි එහෙම කරනවා. Trainersලා තමයි තීරණය කරන්නේ මොනවද කරන්නේ කියලා. ඒ ගොල්ලෝ යෝ යෝ කරනවා, දුවවනවා, ස්කින් ටෙස්ට් එක කරනවා, ජිම් එක කරනවා. ඊට පස්සේ ඒ Fitness වල ප්‍රතිඵල අපිට ඒගොල්ලෝ ලබා දෙනවා. ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ, ලංකාවට සෙල්ලම් කරන්න ඕනේ නම් ඒ කාලෙට අදාළ fitness ඒ හරි කාලෙට කරන්න ඕනේ. හොයලා බැලුවාම කවුරුත් හරියට කරලා නැහැ.”
“Fitness අසමත් නම් ඇයි සංචිතයට තෝරාගන්නේ?”
“දැන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට තෝරගත්ත ක්‍රීඩකයින්ගේ සංචිතයේ Fitness ටෙස්ට් එක තියෙන්නේ මේ මාසේ 4 වැනිදා. 5 වැනිදා සංචිතය තෝරයි. 4 වැනිදා Fitness ටෙස්ට් එක අසමත් නම් 5 වැනිදා සංචිතයේ ඒ අය නැහැ. හැබැයි ඔතන ගැටලුවක් තිබෙනවා.
මම උදාහරණයක් කියන්නම් දැන් දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වෙලා තියෙන්නේ, මට දීලා තිබ්බ වාර්තාවන් වලට අනුව දිමුත්ගේ ආබාධය සුවවෙයි කියලා තියෙන්නේ පෙබරවාරි 14 වැනිදා ධනංජය ද සිල්වාගේ ආබාධය පෙබරවාරි 19 වෙද්දී හොඳ වෙයි කියලා වාර්තා ඇවිල්ලා තියෙනවා. හැබැයි සංචාරය පටන් ගන්නේ විසිගණන් වල ඒ වෙද්දී මේ දෙන්නට Fitness සමත් වෙන්න පුළුවන් වෙයි. හැබැයි දැන් බලන්න මේ විදිහට මේ දෙන්නට මේ Fitness ටෙස්ට් එක සමත් වෙන්න බැහැ නේ. එතකොට මේ කියන විදිහට මේ ක්‍රීඩකයින් දෙන්නවත් තෝරන්න බැහැ. දැන් ඕෂදව මම සංචිතයට දැම්මා කියලා මට ලොකු චෝදනාවක් ආවා. හැබැයි මට Physioගේ වාර්තාව ආවා, ඕෂදව දෙවන ටෙස්ට් තරගය (දකුණු අප්‍රිකාවේ දී) ගහන්න පුළුවන් කියලා හැබැයි පුහුණුවීම් වලදී ඔහුගේ පාදයේ ආබාධය ආයිත් පෙරලුනා.”
“මේක බලන්න ඕනේ හරි විදිහට. අපි හිතනවා හොඳ ක්‍රීඩකයෙක් ඉන්නවා කියලා ඒ ක්‍රීඩකයාට ටික දවසක් දෙන්න ඕනේ Fitness මට්ටම තරගයට කලින් හරි තැනකට ගේන්න. මේක අපි මිනුම් දණ්ඩක් දාගෙන Fitness අසමත් කවුරුත් බැහැ කිව්වොත් තේරීම්වල දී ලොකු අමාරුවක වැටෙනවා. මුදල්වලට ක්‍රීඩකයින් Fitness ප්‍රතිඵල වෙනස් කරනවා කියන කතාව නම් මම පිළිගන්නේ නැහැ.”
“තේරීම් කමිටු සභාපති හරි නායකයා ඉල්ලා අස්වුනා හරි කියලා මේ ප්රශ්නය ඉවර වෙන්නේ නැහැ, ශ්‍රී ලංකා ක්‍රිකට් වල පාලානාධිකාරිය තමයි දුර්වල කියලා ශ්‍රී ලංකාවට ලෝක ශූරතාවයක් දිනා දුන්න හිටපු නායක අර්ජුන රණතුංග මහතා කිව්වා. ඔබත් ඉන්නේ ඒ ස්ථාවරයේ ද?”
“මම නම් කැමති නැහැ ඒ ගැන කතා කරන්න.”
“ඔබ තේරීම් කමිටු සභාපති සහ කළමනාකරු ලෙස ඉවත් වුනා ද? ඉවත් කළා ද? නැත්නම් ඔබට යම් බලපෑමක් ආවද?”
“නැහැ එහෙම කිසි දෙයක් නැහැ. මට හිතුණා දැන් ඇති කියලා දැන් මට මේ තනතුරුවල ඉන්න එක අමාරුයි. මම මේ තනතුරුවල ඉන්න ආවේ නැහැ නේ. මම මේ තනතුරු ඉල්ලලා බලෙන් ආවේ නැහැ නේ. මම නම් ආයිත් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් අවුරුදු ගානක් මම ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක කටයුතු කළා. දැන් නම් හොඳටම ඇති.”
“ක්‍රිකට් පාලනාධිකාරිය මේ තරගාවලි පරාජය ගැන වගකීම භාර ගත යුතුයිද?”
“මෙහෙමයි මේ තරගාවලියේ දී හරි සැලසුමක් තිබ්බ නැති එක ගැන පලානාධිකාරිය වගකීම භාර ගන්න ඕනේ, ඒක මගේ ඇඟටම දාන්න බැහැ. අපිට දකුණු අප්‍රිකානු තරගාවලිය කල් දාන්න තිබ්බා.”
“තේරීම් කමිටු සභාපතිට කණ්ඩායම් කළමනාකරු තනතුරක් ගන්න වුනේ ඇයි?”
“මම මේ කළමනාකරු තනතුර ගන්න බැහැ කිව්වා. හැබැයි කලින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා මට මේක භාරගන්න කිව්වා. මොකද ඒ වෙලාවේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් පිල් කිහිපයකට බෙදිලා හිටියේ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. ඒක නිසා මම කිව්වා මම ලෝක කුසලාන තරගාවලියේ දී විතරක් ඒක කරන්නම්. ඊට පස්සේ මට බැහැ කියලා. මොකද ඒ තනතුරු දෙක තනි මනුස්සයෙක්ට කරන්න අමාරු වැඩක්. ඒ කියන්නේ මාධ්‍ය එක්ක වැඩ කරන්නේ ඕනේ, logistic කරන්න ඕනේ, ICC එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඊට අමතරව තේරීම් කටයුතු කරන්නත් ඕනේ, වැඩ ගොඩයි. පාකිස්තානු තරගාවලිය නිසා මේ වැඩේ දික්වුනා. මොකද ප්‍රධාන ක්‍රීඩකයෝ ගොඩක් යන්න බැහැ කියද්දී දෙවන පෙළ කණ්ඩායමක් යන්න මම තමයි කැමති කරගත්තේ, ඒක නිසා මමත් මේ ක්‍රීඩකයින් එක්ක පාකිස්තානයට ගියා. දැන් මම යනකොට මේ ක්‍රීඩකයෝ ඔක්කොම එකමුතුයි ඒ කල්ලි කිහිපයකට බෙදිලා හිටපු එක නැති කරන්න මට පුළුවන් වුනා. ඕගොල්ලන්ට ඕනේ නම් ක්‍රීඩකයින්ගෙන් අහලා බලන්න.”
“අතුරුකමිටුවක් දාන එක හොඳයි ද?”
“ඒක මෙහෙමයි ඒකෙ පැති කිහිපයක් තියෙනවා. ICC එකත් එක්ක කතා කරලා තමයි බලන්න වෙන්නේ, මොකද එහෙම කලොත් දේශපාලනය ක්‍රීඩාවට ඇවිල්ලා කියලා ICC එකෙන් විවිධ ගැටලු එනවා. සිම්බාබ්වේ වගේ රටවල්වලට එහෙම වෙලත් තියෙනවා.”
“අපේ දෙවන පෙළ සවිමත් අඩු ඇයි?”
“අපේ ශ්‍රී ලංකා A ටීම් එක මාස විස්සකින් තරගාවලියක් ක්‍රීඩා කරලා නැහැ. අන්තිමට ගියේ අපි ඉන්දියාවට. ක්‍රිකට් පාලක මණ්ඩලය මේකට හරි තීරණයක් ගන්න ඕනේ. හරි structure එකක් හදන්න ඕනේ. මේක අද ඊයෙ වැටුණු එකක් නෙමෙයි. ගොඩ කාලයක් තිස්සේ වැටෙමින් ආපු එකක්. ඉතින් දෙවන පෙළ කණ්ඩායමක් හදන්න නැත්නම් අලුත් ක්‍රීඩකයින් ජාත්‍යන්තරයට ගෙන්න ගියාම ලොකු ලොකු ප්‍රශ්න එනවා. Club ගණන වැඩියි. මේ Club වල මනාප ක්‍රමය එක්ක ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. Club ක්‍රිකට් එකේ කිසිම Quality එකක් නැහැ. ක්‍රීඩකයෝ වැඩියි, ගෙවන මුදල් අඩුයි, තරගකාරීත්වය අඩුයි. ඔහේ ගහනවට ගහන්නේ නැතිව හොඳ විකට්ස් වල හොඳ ක්‍රීඩකයෝ තෝරාගෙන හොඳ ක්‍රිකට් එකක් ගහන්න ඕනේ.”
*“සලකුණ” සජීව රූපවාහිනි වැඩසටහන ඇසුරින් පල කළ මේ ලිපියේ තවත් කොටසක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<