දස්කම් මත ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමේ ගිවිසුමක්!

347

ක්‍රීඩාවේ ප්‍රමිතීන් සහ මගපෙන්වීම් සඳහා පත්කළ “ඉහළ කාර්යසාධන කමිටුව” විසින් යෝජිත ඉදිරි වැඩසටහන් සහ මෙරට ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අවශ්‍ය පහසුකම් ලබා දීමේ උත්සවයක් අද (27) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවය සඳහා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන මහතා, ඉහළ කාර්යසාධන කමිටුවේ සාමාජිකයන්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී විය. 

එම උත්සවයේ දී කාර්යසාධන කමිටුව විසින් සකස් කළ සැලසුම් ඉදිරිපත් කිරීම සිදු කළ අතර මලල ක්‍රීඩා, බොක්සිං, පිහිනුම් සහ ජූඩෝ යන ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අවශ්‍ය පහසුකම් ලබා දීම ද සිදු කෙරුනි. 

තවද එම උත්සවයේ ප්‍රධානතම සිදුවීම ලෙස මෙරට ඉතිහාසයේ මුල්ම වරට ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්ගේ දස්කම් මත පදනම් වූ වෘත්තීය ගෙවීම් ව්‍යුහයක් සහිත ගිවිසුමකට අත්සන් තැබීම ද සිදු විය. 

එම අවස්ථාවේ දී උත්සව සභාවේ ඇමතූ වර්තාමන ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ අද දිනය මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුතෙන් ලියවෙන දිනයක් ලෙස හැඳින්විය හැකි බවයි. 

“අපි ඉතිහාසය ගත්තම විශාල ජයග්‍රහණ ලබපු ජාතියක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔලිම්පික් පදක්කම් හිමිකර ගත්ත, ආසියානු පදක්කම තියෙන, ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කරලා තියෙන, පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් තියෙන.” 

“ඒ  වගේම කණ්ඩායම් ක්‍රීඩාවලින් ලෝකයේ එක් එක් කාලවල දී ශ්‍රේණිගත කිරීම්වල ඇතැම් විට සතුටු විය හැකි, ඇතැම් විට සතුටු විය නොහැකි ප්‍රතිඵල ලැබිලා තියෙනවා.”  

“යමෙක් ප්‍රශ්න කරන්න පුළුවන්, මේ සිස්ටම් එක හොඳයි මේකේ ප්‍රතිඵල තියෙනවා කියලා. හැබැයි අපි දන්න කාරණය තමා පසුගිය අවුරුදු කිහිපය තුළ අපට පැහැදිලි ජයග්‍රහණ ලබා ගන්න බැරි වුනා. ඒ වගේම තමා අපේ ඉලක්කගත ජයග්‍රහණ කරා යන්න අපට ලැබුණේ නැහැ.” 

“සමහර ක්‍රීඩාවල අපි තිබ්බට වඩා උඩට ඇවිත් තියෙනවා. ඒත් ජාත්‍යන්තරය ඊටත් එහාට ගිහින් තියෙන නිසා අපිට ඒ ජයග්‍රහණවලට යන්න බැරි වෙලා. තවත් ක්‍රීඩාවල අවුරුදු 20-25කට කඩන්න බැරි වාර්තා තවම තියෙනවා. මේක තමයි අපි කතා නොකළත් යාථාර්තය.” 

“තවත් සමහර ක්‍රීඩාවල ක්‍රීඩා සංගම් තමන්ගේ නිලවරණය පිළිබඳව සාකච්ඡා කරනවා මිසක් ක්‍රීඩකයා හෝ ක්‍රීඩාව ගැන සාකච්ඡා කරන්නේ නැහැ. සමහර වෙලාවට ක්‍රීඩකයාගේ අභිවෘද්ධිය සහ ක්‍රීඩාවේ හෙට දවසට වඩා සංගමයේ හෝ ක්‍රීඩා සමාජයේ පැවැත්මට කටයුතු කරපු අවස්ථාවලුත් තියෙනවා” යැයි එතුමා ප්‍රකාශ කර සිටියේය.

තවත් ක්‍රීඩා පුවත් කියවන්න:  

මීට අමතරව ඉතිහාසයේ මුල්ම වරට හඳුන්වා දුන් ක්‍රීඩක දස්කම් මත පදනම් වූ වෘත්තීය ගෙවීම් ව්‍යුහයක් සහිත නව ක්‍රීඩක ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, 

“අපි සැලස්මක් එක්ක, වැඩපිළිවෙළක් එක්ක යන්නේ සහ අපිට ඉලක්කයක් තියෙනවා. ඔබට ගිවිසුම් ගත වෙද්දී සෑම ගිවිසුමක් තුළම ඔබේ දස්කම් වෙනුවෙන් වෙන් කරන්නේ. ඔබ ඉහළ ස්ථරයේ ක්‍රීඩකයෙක් විදියට පිළිගත්තත් එතන රඳාපැවතීම මෙන්ම ඉදිරියට යෑමේ වගකීම ඔබට තියෙනවා.” 

“ඉදිරියට යන්න යන්න ඔබට ලැබෙන වරප්‍රසාද වැඩි වෙනවා, ඔබ ආපස්සට එන්න එන්න ඔබට ලැබෙන වරප්‍රසාද අඩුවෙනවා.”  

“ඒ දස්කම් මත ගෙවීමේ ගිවිසුමකට ක්‍රීඩකයා පෙළ ගැස්වීම ඔබට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ඉදිරියේ දී අදාළ වෙනවා කියන එකත් මතක් කරන්න ඕන. ඒක ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝගයක් විදියට හැම ක්‍රීඩාවකට දස්කම් මත ගෙවීමේ ක්‍රමයකට අපි යනවා” යනුවෙනි. 

මෙම නව සැලසුම් ක්‍රියාත්මක කිරීමත් සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මත ඔවුනට ගෙවීම් හිමි වන අතර ඔවුනට අවශ්‍ය පෝෂණ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සහ පුහුණු කටයුතු සඳහා ක්‍රමානුකූල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<