දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියට දැඩි නීතිරීති

236

දකුණු අප්‍රිකානු හා ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිත දෙකම මාර්තු මාසයේ පැවැත්වෙන තවමත් ස්ථිර කර නොමැති ටෙස්ට් තරගාවලියක් ඉලක්ක කරගෙන නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. 

දකුණු අප්‍රිකාවේ මෙතෙක් තිබුණු නීති රීති දැඩිම සෞඛ්‍යාරක්ෂිත බුබුළ මෙය වනු ඇතැයි ද වාර්තා වෙනවා. එංගලන්ත හා ශ්‍රී ලංකා සංචාරවල දී මෙන් නොව පළමු COVID-19 පරීක්ෂණ වටයෙන් පසුව පමණක් කණ්ඩායම්වල පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර හිමි වන අතර තුන්වැනි ටෙස්ට් තරගය අවසන් වන තුරුම ක්‍රීඩකයින්ට බුබුළෙන් පිටත කිසිවෙකු හමු වීමට අවසර හිමිවන්නේ නැහැ.

දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය පෙබරවාරි 9 වැනිදා පකිස්තානයෙන් පිටත් වීමට නියමිතයි. ටෙස්ට් කණ්ඩායමට අයත් නොවන වෙනස්ම කණ්ඩායමක් පෙබරවාරි 11, 13 හා 14 පාකිස්තානය සමඟ විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි.

“Covid-19 වසංගතය නිසා සෞඛ්‍යාරක්ෂිත බුබුළු වල වැඩ කරනකොට අපි අනෙක් රටවල් සමඟ කටයුතු කරන්න ඕන. අනෙක් සාමාජික රටවල් එකිනෙකාට උදව් කරගන්නේ නැතිනම් ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් අභියෝග එල්ල වෙන්න පුළුවන්” දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂක  Graeme Smith පවසා තිබුණා.

“පාර්ශව දෙකටම එකඟ වෙන්න පුළුවන් නීති රීති හදාගන්න ඕන. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සමඟ එකතු වෙලා අපි තීරණ රැසක් ගත්තා. තරගාවලියට පෙර නිරෝධායන කාලසීමාවක් තියෙයි. අවාසනාව තමයි අපිට මේ වෙලාවේ කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරවන්න වෙන එක.” 

දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන දින එළඹෙන සතියේ දී නිවේදනය කිරීමට නියමිතයි. ESPNcricinfo පුවත් සේවය වාර්තා කරන අන්දමට ඕස්ට්‍රේලියාව එළඹෙන මාර්තු මාසයේ දී SuperSport Park හා Wanderers ක්‍රීඩාංගණවල දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි. 

කෙසේ වෙතත් Smith වරෙක මාධ්‍යයට පවසා තිබුණේ ක්‍රීඩාංගණ ප්‍රේක්ෂකයින්ට විවර කරන්නට තමා බොහොම කැමති බවයි. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව මේ වන විට දෙවන Covid රැල්ලකට මුහුණ දෙන නිසා එම උත්සාහය සාර්ථක නොවනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට දකුණු අප්‍රිකාව තුන්වැනි මට්ටමේ රට වසා දැමීමක සිටින අතර එහි නිර්ණායක ලෙස ක්‍රීඩා තරග ප්‍රේක්ෂකයින්ට විවර නොවන අතරම සියලුම ක්‍රීඩා ඉසව් රාත්‍රී 8 වන විට නිමා කිරීමට ද සිදු වෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

“අපි බොහොම කැමතියි දේශීය ගිම්හාන තරග වාරය සම්පූර්ණ කරන්න. අපිට ඕස්ට්‍රේලියානු තරගාවලිය පවත්වන්න විතරක් නෙවේ ඕස්ට්‍රේලියාව හා තරග කරන්නත් ඕන” Smith පවසා සිටියා. “අපි දැක්ක ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගාවලිය නිසා ටෙස්ට් ක්‍රීඩාවත් එක්ක ප්‍රේක්ෂකයින් එකතු වුණු හැටි. අවසන් වරට ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවේ තරග කරාම තරගාවලිය කොච්චර උණුසුම් වුනා ද කියලා ඔබ දන්නවා. අපි ගොඩක් සතුටුයි ඕස්ට්‍රේලියාවට සත්කාරකත්වය දක්වන්නට ලැබීම ගැන.”

දකුණු අප්‍රිකාවේ දේශීය එක්දින ක්‍රිකට් තරගාවලියත් මේ දිනවල Potchefstroom හිදී පැවැත්වෙන්නේ තවත් සෞඛ්‍යාරක්ෂිත බුබුළකයි. එම තරගාවලිය පසුගිය වසර අවසානයේ සංවිධානය වුනත් Covid-19 වයිරසය නිසා එහි අවසන් වටයේ තරග කල් දමන්නට සංවිධායකයින්ට සිදු වුනා. 

කෙසේ වෙතත් විස්සයි විස්ස ලීග් තරගාවලිය හා අර්ධ වෘත්තීමය තරගාවලි ආරම්භ කරන්නට තවමත් හැකියාවක් ලැබී නැහැ. “Covid-19 ප්‍රශ්නයත් එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරන්න හැකි වීම ගැන මම ගොඩක් ධනාත්මකව හිතනවා. අර්ධ වෘත්තීමය තරගාවලි ආරම්භ කරන්නත් අපි අවධානය යොමු කරනවා” Smith සඳහන් කළා.

දකුණු අප්‍රිකානු නව ක්‍රිකට් සැලැස්ම අනුව පළාත් 15කට කණ්ඩායම් 15ක් නිර්මාණය කර තිබෙනවා. අර්ධ වෘත්තීමය තරගාවලිවලට ද ඉතා ඉහළ වටිනාකමක් හිමිව ඇත්තේ ප්‍රධාන කණ්ඩායම් සඳහා ගිවිසුම්ගත වීමට නම් ක්‍රීඩකයින්ට මේ තරගාවලි ඉතා වැදගත් වන නිසයි. මේ නව සැලැස්ම නිසා ක්‍රීඩකයින් 75 දෙනෙකුට පමණ කණ්ඩායම් අහිමි වන අතර ඔවුන්ට ප්‍රධාන කණ්ඩායමක ස්ථානයක් දිනා ගැනීමට ඇති හොඳම අවස්ථාව මෙයයි. 

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<