එංගලන්තය රැඳී සිටින හෝටලයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා

243

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම රැඳීසිටින ගාල්ලේ පිහිටි හෝටලයේ කාර්‍යමණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ පිළිබඳව එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඔවුන් පවසා සිටියේ මෙලෙස වයිරසය ආසාදනය වී ඇති කාර්‍යමණ්ඩලය එංගලන්ත ක්‍රීඩකයන් හෝ නිලධාරීන් සමඟ සමීපව කටයුතු කර නොමැති බවයි. එම නිසා තම කණ්ඩායමට ඒ පිළිබඳව අවදානමක් නොමැති බවත් ඔවුන් පවසා ඇත.

Daily Mirror පුවත්පත වාර්තා කළ ආකාරයට මෙම හෝටලයේ මුළුතැන්ගෙයි සේවය කරන සේවකයන් දෙදෙනෙකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇත. ඒ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ද තහවුරු කර තිබුණි.

එංගලන්ත කණ්ඩායම මෙලෙස කොරෝනා වයිරසය හමුවේ අවදානමකට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඔවුන්ගේ අවසන් තරග සංචාරය වූ දකුණු අප්‍රිකානු සංචාරයේ දී ද මෙවන් සිදුවීමක් වාර්තා විය. 

එහි දී කණ්ඩායම රැඳී සිටි Cape Town හෝටලයේ කාර්‍යමණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකුට වයිරසය ආසාදනය වී තිබුණි. එහි දී එංගලන්ත ක්‍රීඩකයන්ගේ ජෛව ආරක්‍ෂිත වටපිටාව පිළිබඳව ගැටලු කීපයක් ඇතිවී තිබූ අතර ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව එක්දින තරගාවලිය අතරමඟ අවලංගු කිරීමට ක්‍රිකට් ආයතන තීරණය කළේය. 

තවත් ක්‍රිකට් පුවත්: 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල පවතින දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපටිපාටිය නිසා කිසිදු හෝටල් සේවකයෙකු ක්‍රීඩකයන් සමඟ කටයුතු කර නොමැත. එංගලන්ත කණ්ඩායම ද එම නීතිරීති පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබීම නිසා කණ්ඩායමට කිසිදු අවදානමක් නොමැති බව තහවුරු වී ඇත.

“අපි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එක්ක සමීපව සහ ගෞරවයෙන් යුතුව කටයුතු කරනවා. අපේ ක්‍රීඩකයින් සහ සාමාන්‍ය ජනතාව සුරක්ෂිතව තබා ගැනීමට හැකි සෑම දෙයක්ම අපි කරනවා. ගාල්ල ක්‍රීඩාංගණයේ වගේම අපේ කණ්ඩායම රැඳී සිටින සෑම තැනකම අපි සුපරීක්ෂාකාරීව කටයුතු කරනවා. ක්‍රීඩකයින් සමාජ දුරස්ථභාවය හැමවෙලාවකම තබාගෙන කටයුතු කරනවා. ගෘහස්ථ ස්ථානවල සහ හෝටල්වල සෑම විටම මුහුණු ආවරණ පළදිනවා” එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

එංගලන්ත කණ්ඩායම පසුගිය 2 වැනිදා මෙරටට පැමිණි අතර එහි දී කරන ලද PCR පරීක්ෂණයේ දී තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali හට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඉන් අනතුරුව ඔහු දින 10ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබුණි.

“අපි ශ්‍රී ලංකාවට ආවට පස්සේ Moeenට වයිරසය ආසාදනය වෙලා කියලා තහවුරු වුනා. ඉන් අනතුරුව ඔහු ස්වයං නිරෝධායනයට ලක් කලා. ඔහු අපේ හෝටලයේම වෙනත් පැත්තක ඉන්නේ. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ එංගලන්ත වෛද්‍ය කණ්ඩායම් ඔහුගේ තත්ත්වය නිරන්තරයෙන්ම පරීක්ෂා කරනවා. ඔහුගේ තත්ත්වය සාමාන්‍ය වූ විගස ඔහු නැවත සංචිතයට පැමිණේවි. ඒකට තව දින කීයක් ගතවෙයි ද කියලා අපිට තහවුරු කරන්න බැහැ.” 

පසුගිය අඟහරුවාදා (ජනවාරි 12) එංගලන්තය නැවත වරක් PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණු අතර එහි දී කිසිදු ක්‍රීඩකයෙක්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය. පළමු ටෙස්ට් තරගය අවසන් වූ දිනට පසු දින ඔවුන්ව නැවත වරක් පරීක්ෂා කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඇතිව තිබෙන නව තත්ත්වය අනුව එය වෙනස් විය හැකි බව ආරංචි මාර්ග පවසා තිබේ.

එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

Cricbuzz ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<