වර්ගවාදී ප්‍රකාශ ගැන සංගාගේ අප්‍රසාදය

651
Kumar Sangakkara

පසුගිය දා නිමා වූ ඉන්දීය ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය ක්‍රීඩකයන් කීපදෙනෙකුට එල්ල වූ වර්ගවාදී ප්‍රකාශ කීපයක් පිළිබඳව මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි. ඒ පිළිබඳව ක්‍රීඩකයන්, ක්‍රිකට් ආයතන සහ හිටපු ක්‍රීඩකයන් රැසක් සිය දැඩි අප්‍රසාදය පල කර තිබුණි.

ඕස්ට්‍රේලියා ප්‍රේක්ෂකයන් විසින් සිදු කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ ක්‍රීඩක සහ වත්මන් Marylebone ක්‍රිකට් සංගමයේ සභාපති කුමාර් සංගක්කාර ද සිය අප්‍රසාදය පල කර තිබුණි. 

ඉන්දීය ඕස්ට්‍රේලියා Pink Ball ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය වේගපන්දු යවන්නන් වන Jasprit Bumrah සහ Mohammed Siraj හට ප්‍රේක්ෂකයන් කීපදෙනෙකු මෙලෙස වර්ගවාදී ප්‍රකාශ සිදුකර තිබූ අතර ඒ පිළිබඳව එම ක්‍රීඩකයන් පැමිණිල්ලක් ද සිදුකර තිබුණි. 

සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති තරගය අතරතුර වාර්තා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පසුගිය සෙනසුරාදා නිල වශයෙන් පැමිණිල්ලක් සිදු කර තිබිණි.

ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවන සහ තෙවැනි දිනවල දී පන්දු රකිමින් සිටි Jasprit Bumrah සහ Mohammed Siraj වෙත ප්‍රේක්ෂකයන් මෙලෙස බැනවැදී තිබේ. එම සිදුවීම තරගයේ සිව්වැනි දිනයේ දී ද වාර්තා වී තිබුණි.

මෙම සිදුවීම දැඩි ලෙස හෙලාදකිමින් කුමාර් සංගක්කාර පවසා සිටියේ එයට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව දැඩි දඬුවම් පැනවිය යුතු බවයි.

තමන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කාලය තුල තම රටේ දී හෝ වෙනත් කිසිදු රටක දී තමන්ට එවන් අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදු නොවූ බවත් කුමාර් සංගක්කාර පවසා තිබුණි.

“මම මේ සිදුවීම ගැන තිබුණ වාර්තා කීපයක් දැක්කා. පසුගිය දින දෙක තුනක කාලය තුල ඉන්දීය ක්‍රීඩකයන් සහ ඕස්ට්‍රේලියා ප්‍රේක්ෂකයන් අතර තිබුණ ඒ ගැටුම මම දැක්කා. කිසිම රටක් ඒ වගේ වර්ගවාදී දේවල්වලට ඉඩ නොදිය යුතුයි. ඒ වගේ ක්‍රියාවන් අපි හෙළාදකිනවා. මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් දෙන්න ඕනේ කියලා මම හිතනවා” ANI මාධ්‍ය සමඟින් එක්වූ සාකච්ඡාවක දී කුමාර් සංගක්කාර පවසා සිටියේය.

“මම ක්‍රීඩා කරන කාලයේ මට ඒ වගේ වර්ගවාදී සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. මම වාසනාවන්තයි ඒ වගේ වටපිටාවක ක්‍රීඩා කරන්න ලැබීම ගැන. මගේ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් ගැන මම හරියටම දන්නේ නැහැ. ඒත් මම පෞද්ගලිකව ඒ වගේ වර්ගවාදී ප්‍රකාශවලට හෝ වර්ගවාදී බැනවැදීම්වලට මුහුණ දීලා නැහැ. මම සංචාරවලට එක්වුන කිසිම රටක දී මම එහෙම දේකට මුහුණ දීලා නැහැ.” 

දෙවන ටෙස්ට් තරගයේ දෙවන සහ තුන්වැනි දිනයේ වාර්තා වූ මෙම සිදුවීම් පිළිබඳව ඉන්දීය කණ්ඩායම පැමිණිලි කිරීමෙන් අනතුරුව ද එම සිදුවීම් වාර්තා විය. 

තවත් ක්‍රිකට් පුවත්:

සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් සිව්වැනි දිනයේ දී ද Mohammed Siraj හට වර්ගවාදී ප්‍රකාශ සිදු කරමින් බැනවැදී තිබූ අතර ඒ පිළිබඳව ඉන්දීය නායක Ajinkya Rahane තරගයේ විනිසුරුවන් වූ Paul Reiffel හට ද පැමිණිලි කළේය. 

මේ පිළිබඳව විනිසුරුවන් වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ පිළිබඳව ක්‍රීඩාංගණයේ ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබූ අතර රූපවාහිනී පුනරූපනවලින් එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කළේය. 

තුන්වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි ඉනිමේ දී ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 407ක ඉලක්කයක් හිමි වූ අතර Rishabh Pant, Chetashwar Pujara, Hanuma Vihari සහ Ravichandran Ashwinගේ ප්‍රබල පිතිකරණය හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර දෙවන තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේය.

තරගාවලියේ සිව්වැනි සහ අවසන් තරගය එළඹෙන ජනවාරි 15 වැනිදා බ්‍රිස්බෙන් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<