පාපන්දුවෙන් පටන්ගෙන ක්‍රිකට්වලින් දශකය අවසන් කළ ක්‍රීඩිකාව

905

ඒ 2011 වසරයි. ජර්මනියේ පැවති FIFA කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියා කාන්තා පාපන්දු කණ්ඩායම ද සුදුසුකම් ලබා තිබුණි. 

පිළිමළුන් පිටුදැකීමේ වටයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ස්වීඩනයයි. තරගයේ මුල් මිනිත්තු 15 තුල දී ම ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයේ ග්‍රහණය තමන් සතුකර ගැනීමට ස්වීඩනය සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ 40 වැනි මිනිත්තුවේ දී සිදු වූයේ කිසිවෙකුටත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. ඒ වන විට ගෝල සීමාවට තරමක් එපිටින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ Defender ක්‍රීඩිකාව ස්වීඩන ක්‍රීඩකයන් අතරින් පන්දුව ගෝලය දෙසට එල්ල කළා. බලාපොරොත්තු නොවූ පහරින් අන්දමන්ද වූ ස්වීඩන ගෝල රකින්නිය පන්දුව වැළැකීමට අපොහොසත් විය. ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ සිය පළමු ගෝලය වාර්තා කළා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම වාර්තා කළ එකම ගෝලය වූ මෙහි සම්පූර්ණ ගෞරවය හිමි වූයේ අංක 6 ක්‍රීඩිකාවටය. ඇ‍ය නමින් Ellyse Perry ය. 

ඔව් මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන ආකෘති තුනෙන්ම දශකයේ කාන්තා ක්‍රීඩිකාව ලෙස නම් කළ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තාරකාව වන Ellyse Perry ය. 

දශකය ආරම්භ වන විට ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායම නියෝජනය කළ පාපන්දු ක්‍රීඩිකා Ellyse Perry, ඉන් වසර 10කට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දශකයේ ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වීම කෙතරම් අහම්බයක් ද? 

1990 වසරේ දී උපත ලබන Ellyse Perry ඉන් වසර 16කට පසුව ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාපන්දු කණ්ඩායමට ඇතුළත් වීමට තරම් වාසනාවන්ත විය. ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩිකාව වන ඇ‍ය ICC ලෝක කුසලාන තරගාවලිය සහ FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යන තරගාවලි ද්විත්වයම නියෝජනය කළ එකම ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ය. 

2007 වසරේ ඇය සිය පළමු ජාත්‍යන්තර පාපන්දු තරගයට සහභාගී වුනා. ඒ ඇය ඕස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වී සති දෙකකට පසුවය. 

කෙසේ වෙතත් 2015 වසරේ දී පාපන්දු සහ ක්‍රිකට් අතරින් ක්‍රිකට් ක්‍රීඩාව සිය ප්‍රමුඛ ක්‍රීඩාව ලෙස තෝරාගැනීමට ඇය තීරණය කළා. 

ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගැනීම ඇය ගත් විශිෂ්ට තීරණයක් බව වසර කීපයකින්ම සනාථ විය.

ටෙස්ට් ක්‍රීඩාව තුල ඇයගේ ලකුණු සාමාන්‍ය 78.00ක් ලෙස සටහන්ව ඇති අතර ඇය ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස 213 සටහන්ව ඇත. 

කාන්තා විස්සයි විස්ස ක්‍රීඩාව තුල දෙවන වැඩිම කඩුලු ලාභිනිය වන ඇය, එම තරග රටාව කඩුලු 100 සීමාව පසුකර ගිය එකම ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව බවට පත්විය. මෙතෙක් කිසිදු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් එම දස්කම දක්වා නැත.

තවත් ක්‍රිකට් පුවත්: 

ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය 5 වතාවක් සහ ලෝක කුසලානය එක් වතාවක් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඇය දශකයේ ක්‍රීඩිකාව ලෙස නම් කිරීමට පෙර ඇය කීපවරක්ම වසරේ ක්‍රීඩිකාව ලෙස ද සම්මානයට පාත්‍ර විය.

පාපන්දු ක්‍රීඩාවෙන් ද ඇය කීපවරක්ම සම්මාන දිනා ගැනීමට සමත්ව තිබෙනවා. Canberra United කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියා කාන්තා ලීග් තරගාවලිය ජයග්‍රහණය කළ ඇය 2011-12 තරග වාරයේ හොඳම තරුණ ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් වුනා.

“මම ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පාපන්දු සහ ක්‍රිකට් දෙකෙන්ම. ජර්මනිය වගේ පාපන්දු උන්මාදය තියන රටක ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන්න ලැබීම විශාල දෙයක් විදිහට මම දකිනවා. මම ස්වීඩනයට එරෙහිව ගෝලය ලබා ගත්තම මුළු ක්‍රීඩාංගණයම මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මට හිතුණා. ඒ මොහොත හැමදාමත් මගේ මතකයේ තියේවි.”

“පසුගිය අවුරුදු 10ක කාලය ගත්තම පාපන්දු සහ ක්‍රිකට් දෙකේම කාන්තා අංශය ගොඩක් දියුණු වුනා. ඉතින් ඒ ක්‍රීඩා දෙකම නියෝජනය කරන්න ලැබීම වාසනාවක්. පාපන්දුවට සමුදෙන්න වුන එක ගැන දුකක් තියනවා. ඒත් මට ඒ වෙලාවත් ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගන්න පුළුවන් වුනා. පාපන්දු මඟහැරුනට මට අළු බඳුන තරගාවලියට ක්‍රීඩා කරන්න පුළුවන් වුනා. ඉතින් ඒක ලොකු ගෞරවයක්” මීට මාස කීපයකට පෙර The Telegraph පුවත්පත සමඟින් එක්වෙමින් Perry පවසා තිබුණි.

දශකය ආරම්භයේ දී පාපන්දු තරුවක් වූ Ellyse Perry දශකය අවසන් වන විට ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබේ.

කැපවීම සහ උනන්දුව තිබේ නම් ලොව කළ නොහැකි දෙයක් නැත යන්නට ප්‍රබලතම සාක්ෂිය Ellyse Perry ය.

The Telegraph සහ තවත් වාර්තා කීපයක් ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<