පාපන්දු විශිෂ්ටයාගේ නික්ම යාම

318

හිටපු ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වූ Diego Maradona සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 60කි. 

හිටපු ආර්ජන්ටිනා midfielder ක්‍රීඩකයෙකු වූ Diego Maradona ඉන් අනතුරුව පාපන්දු කළමනාකරුවෙකු ලෙසද කටයුතු කළේය. ඇති වූ හදිසි හෘදයාබාධයක් නිසා ඔහු අද (25) දින Buenos Airesහි පිහිටි නිවසේ දී මියගිය බව ආර්ජන්ටිනා මාධ්‍ය විසින් නිල වශයෙන් තහවුරු කර තිබිනි. 

Diego Maradona සිය මොළයේ ඇති වූ රුධිර සිරවීමක් නිසා පසුගිය මාසයේ දී ශල්‍යකර්මයකට භාජනය වූ අතර එහි ප්‍රතිඵල සතුටුදායක බව මීට දින කිහිපයකට පෙර වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබිනි. ඉන් අනතුරුව සිය අධික මත්පැන් භාවිතය සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට ද ඔහු සූදානමින් සිටි බව වෛද්‍යවරුන් පවසා තිබේ. 

1986 වසරේ දී ආර්ජන්ටිනා පාපන්දු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Diego Maradona ප්‍රමුඛ කණ්ඩායම සමත් විය. එහි නායකත්වය හිමි වූයේ Diego Maradona හටය. 

එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය හමුවේ Diego Maradona වාර්තා කළ ගෝලය ‘Hand of God’ හෙවත් ‘දෙවියන්ගේ හස්තය’  ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. 

Diego Maradonaගේ අභාවය සම්බන්ධයෙන් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබිනි. එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මෙම අහිමි වීම තම රටට මෙන්ම පාපන්දු ලෝකයටම මහත් ශෝකයක් බවයි. තම රට බිහිකළ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ අහිමි වීමෙන් තමන් දැඩි ලෙස ශෝකයට පත්ව සිටින බවත්, Diego Maradona නාමය සැමදා තම හදවත් තුළ පවතින බවත් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනය එහිදී ප්‍රකාශ කර තිබිනි. 

Diego Maradonaගේ අභාවය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernandez එරටට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. 

“ඔබ අපිව ලෝකයේ ඉහළටම අරන් ගියා. ඔබ අපිව හැමදාමත් සතුටු කළා. ඔබ තමයි ලෝකය බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයා. අපේ රට ලෝකයේ ඉහළටම අරන් ගියාට ස්තූතියි Diego Maradona. ඔබ වගේ ක්‍රීඩකයෙක් අපේ රටේ බිහිවීමම අපිට ආඩම්බරයක්. අපි හැමෝටම ඔබව මඟහැරේවි.” යයි ජනාධිපති Alberto Fernandez ප්‍රකාශ කර තිබිනි.

Diego Maradona ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමට අමතරව Barcelona සහ Napoli කණ්ඩායම් වලට ද සිය දායකත්වය ලබා දී තිබේ. එහිදී Napoli කණ්ඩායම සමඟින් Serie A ශූරතා ද්විත්වයකට හිමිකම් කීමට Diego Maradona සමත් විය.

Diego Maradona 1986 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් Diego Maradona ජාත්‍යන්තර තරග 91කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ගෝල 34ක් වාර්තා කර තිබේ. එමෙන්ම ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි 4කට සහභාගී වී තිබේ. 

Diego Maradonaගේ නායකත්වය යටතේ ආර්ජන්ටිනා කණ්ඩායම 1990 වසරේ ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට සමත් විය. එහිදී බටහිර ජර්මනිය හමුවේ ඔවුන් පරාජය විය. 

තවත් පාපන්දු පුවත් කියවන්න: 

ඉන් අනතුරුව 1994 වසරේ දීද පාපන්දු ලෝක කුසලානය සඳහා ආර්ජන්ටිනාවේ නායකත්වය දැරීමට Diego Maradonaට හැකි විය. කෙසේවෙතත් එම තරගාවලිය අතරතුර ephedrine නැමැති ඖෂධය තහනම් උත්තේජකයක් ලෙස ලබාගත් බවට තහවුරු වීම නිසා ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කෙරිනි. 

Diego Maradona සිය පාපන්දු දිවියේ අවසන් කාලය වන විට දැඩි ලෙස කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි අතර 1991 වසරේ දී මාස 15ක ජාත්‍යන්තර තරග තහනමකට ලක්වීමට ද ඔහුට සිදුවිය. 

Diego Maradona සිය 37 වන උපන්දිනය සැමරූ 1997 වසරේ ඔක්තෝබර් 30 වනදා සිය පාපන්දු දිවියට සමුදුන්නේය. ඒ Boca Juniors තරගයකිනි. 

වසර කිහිපයක පාපන්දු විරාමයකින් අනතුරුව 2008 වසරේ දී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Diego Maradona පත්විය. නමුත් 2010 වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ජර්මනිය හමුවේ ආර්ජන්ටිනාව පරාජය වීමත් සමඟින් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට Diego Maradona තීරණය කළේය. 

ඉන් අනතුරුව කිහිපවරක් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව සමඟින් Diego Maradona සම්බන්ධ විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාපන්දු කළමනාකරු ලෙස මෙන්ම මෙක්සිකෝවේ පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ලෙසද Diego Maradona කටයුතු කළේය. මිය යන විට Diego Maradona ආර්ජන්ටිනාවේ පාපන්දු සමාජයක් වන Gimnasia y Esgrima කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළේය.

එංගලන්තය හමුවේ වාර්තා වූ Hand of god ගෝලය

Diego Maradonaගේ අභාවය පිළිබඳව පළ වූ ප්‍රවෘත්තියත් සමඟින් ලොව පුරා පාපන්දු දැවැන්තයින්, පාපන්දු සම්මේලනය මෙන්ම ක්‍රීඩා ලෝලීන්ද සිය සංවේගය ප්‍රකාශ කර තිබිනි. 

බ්‍රසීලයේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ලොව පාපන්දු විශිෂ්ටයෙකු ලෙස සැලකෙන පේලේ ද සිය නිල twitter ගිණුමේ Diego Maradonaගේ අහිමි වීම පිළිබඳව සටහනක් තබා තිබිනි. 

“ඒක ඉතාමත් කණගාටුදායක ප්‍රවෘත්තියක්. මට මගේ හොඳම යාළුවෙක් අහිමි වුනා. ඒ වගේම ලෝකයට විශිෂ්ට ක්‍රීඩකයෙක් අහිමි වුනා. මට ඔහු ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් මම දැන් ඒවා කියන්නේ නැහැ. ඔහුගේ පවුලේ අයට මම මගේ ශෝකය ප්‍රකාශ කරනවා. මේ අසීරු අවස්ථාවේ දෙවියන් වහන්සේ ඔවුන්ට ශක්තිය ලබා දේවි. මම විශ්වාස කරනවා දවසක අපිට අහසේ ඉඳන් සෙල්ලම් කරන්න ලැබේවි කියලා.”  

මේ අතර හිටපු එංගලන්ත Strike ක්‍රීඩක Gary Lineker පවසා සිටියේ Diego Maradona යනු ඔහුගේ පරම්පරාව තුළ බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට කිසිඳු විවාදයක් නොමැති බවයි. 

හිටපු ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම Tottenham ක්‍රීඩකයෙකු වූ Ossie Ardiles ද Diego Maradona පිළිබඳව සටහනක් තබා තිබිනි. 

“Diego Maradona, ගොඩක් ස්තූතියි ඔබේ මිත්‍රත්වයට. ඔබේ පාපන්දු ක්‍රීඩාවට. කිසිම විවාදයක් නැහැ, ඔබ තමයි ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයා. ඔබත් එක්ක රසවිඳින්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔබේ හොඳම මතකය මොකක්ද කියලා හරියටම කියන්න අමාරුයි. ඔබත් එක්ක ගත කළ හැම වෙලාවක්ම සුන්දරයි. සමාදානයේ සැතපෙන්න මගේ යාළුවේ.”  

Diego Maradonaගේ අවමංගල්‍යය කටයුතු පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත. 

“අපි සාර්ථක වෙන්නේ අපේම කැපවීම නිසා. සාර්ථකත්වයේ දී වාසනාව කියලා එකක් නැහැ.”  – Diego Maradona 

පාපන්දුවේ වේගවත් විශිෂ්ටයා, ඔබට සුබ ගමන්! 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<