එංගලන්තයේ පාකිස්තාන ගමන කල් යන ලකුණු

363

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 2021 වසරේ ජනවාරි – පෙබරවාරි කාලය තුල පාකිස්තානයේ සංචාරයකට එක්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් පාකිස්තාන මාධ්‍ය පසුගිය දා වාර්තා කළේ මෙම තරග සංචාරය 2021 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල්දැමීමට සිදු වනු ඇති බවයි.

එහි දී ඔවුන් පවසා සිටියේ එළඹෙන 2021 වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ආසන්න කාලයක දී මෙම තරගාවලිය පැවැත්වීම කෙරෙහි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇති බවයි.

මෙලෙස තරගාවලිය කල්දැමීමට ප්‍රධානම හේතුව ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය දක්වා ඇත්තේ මීට පෙර ඔවුන් සැලසුම් කළ ජනවාරි – පෙබරවාරි මාස තුල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කීපදෙනෙකුට තරගාවලියට සහභාගී වීමට නොහැකි වීමත්, එම කාලය තුල තරගාවලිය පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයට සහ එංගලන්ත ක්‍රිකට් ආයතනයට විශාල පිරිවැයක් දැරීමට සිදුවීමත්‍ ය.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මාසය දක්වා කල්‍දැමීමට සිදු වනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ විශ්වාසදායී ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

“අපි මීට කලින් සැලසුම් කළේ ජනවාරි – පෙබරවාරි මාසවල දී මේ සංචාරය කරන්න. ඒත් එංගලන්ත කණ්ඩායම එළඹෙන ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරයකට එක්වෙනවා. ඒ නිසා මේ තරගාවලිය පවත්වන්න පුළුවන් වෙන කාල රාමුව සීමිතයි. එංගලන්ත කණ්ඩායමේ විස්සයි විස්ස තරග රටාවේ විශේෂඥ ක්‍රීඩකයන් කීපදෙනෙක් ඕස්ට්‍රේලියාවේ බිග් බෑශ් තරගාවලියට සහභාගී වෙන්න දැනටමත් ගිවිසුම් අත්සන් කරලා තියනවා. මේ නිසා තරගාවලිය කල්දැමීම තමයි එකම විකල්පය” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර නිලධාරියෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය.

“තවත් ගැටලුවක් වුනේ එංගලන්ත කණ්ඩායම ගෙන්වා ගැනීමේ දී අපිට දරන්න වෙන පිරිවැය. මේ තරගාවලිය තරග තුනකින් සමන්විත තරගාවලියක්. කරච්චි ක්‍රීඩාංගණයේ තමයි මේ තරගාවලිය පැවැත්වීමට සුදුසුම ක්‍රීඩාංගණය. ඒත් අපි ඔවුන්ව ගෙන්වා ගන්න විශේෂ ගුවන්‍ යානයක් යොදාගන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ පුහුණුවීම් සඳහා ඩුබායි ක්‍රීඩාංගණයට යවන්න වෙනවා. මේ කරුණු එක්ක බැලුවම පාකිස්තාන ක්‍රිකට් ආයතනයට වගේම එංගලන්ත ක්‍රිකට් ආයතනයටත් මේ තරගාවලිය සඳහා දරන්න වෙන පිරිවැය ඉතාමත් විශාලයි.” 

එම නිලධාරියා තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙම තත්ත්වය සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කරමින් සිටින බවයි. 

“ඒ අනුව සුදුසුම විකල්පය වෙන්නේ තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මාසය දක්වා කල්දැමීම. ඒ බව ක්‍රිකට් ආයතන දෙකම පිළිගෙන තියනවා. ඒකෙ දී අපිට අවස්ථාවක් තියනවා සම්පූර්ණ එංගලන්ත සංචිතය එක්ක ලෝක කුසලාන තරගාවලියට කලින් කෙටි පාකිස්තාන තරගාවලියක් පවත්වන්න.” 

2009 වසරේ දී ලාහෝර් හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟින් පාකිස්තානය තුල පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරගාවලි සියල්ල අවලංගු විය.

එම සිදුවීමෙන් වසර 10කට පසුව පාකිස්තානය වෙත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් විය. 

එංගලන්තය අවසන් වරට පාකිස්තානය තුල සංචාරයක් සඳහා සහභාගී වී ඇත්තේ 2005 වසරේ දී ය. එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ප්‍රධානම අරමුණ වන්නේ එරට තුල ක්‍රිකට් ක්‍රීඩාව ආරක්‍ෂිත බව තහවුරු කිරීමය. 

“මේ තරගාවලිය පාකිස්තානයට වැදගත් තරගාවලියක්. පසුගිය වසර කීපය තුල පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගොඩක් මහන්සි වුනා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් පාකිස්තානයට අරන් එන්න. මේ නිසා එංගලන්තයේ C කණ්ඩායමක් මේ සංචාරය සඳහා සහභාගී කරගන්නේ නැතිව පූර්ණ කණ්ඩායමක් එක්ක තරගාවලිය පවත්වන්න අපිට අවශ්‍ය වුනා” ක්‍රිකට් ආයතන නිලධාරියා තවදුරටත් පවසා සිටියේය.

පාකිස්තානය එළඹෙන වසරේ මුල් භාගයේ දී දකුණු අප්‍රිකාව සමඟින් පූර්ණ තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එයට ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<