මෙරට මලල ක්‍රීඩාවේ දියුණුවට ලෝක සංගමයේ සහය

275

මෙරට මලල ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ඇමරිකානු ඩොලර් 40,000ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෑත කාලයේ දී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා සාර්ථක දස්කම් දැක්වූ ඉසව්වන් වන මීටර් 400X4 කාන්තා සහ පිරිමි සහය දිවීමේ කණ්ඩායම් සහ මෙරටට මුල්ම යොවුන් ඔලිම්පික් පදක්කම ගෙන ඒමට සමත් වූ මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වන් ඉලක්ක කර විශේෂ වැඩසටහනක් දියත් කිරීම උදෙසා මෙම මුදල් ලබා දීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහත සඳහන් කළ ඉසව්වන්හී මෑත කාලයේ දී දක්වන ලද දස්කම් ආවරණය කරමින් සකස් කළ වාර්තාවක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ඉසව්වන්හී දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව අනුමත කරමින් ඉදිරි වසර දෙකක් සඳහා මෙම මූල්‍ය ආධාරය ලබා දීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 400X4 කණ්ඩායම 2018 වසරේ පැවති දකුණු ආසියානු සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දී එම ඉසව්වන්හී රන් පදක්කම් දිනා ගැනීමටත්, එම වසරේ පැවති ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා උළෙලේ දී අවසන් වටයට තේරී පත්වීමටත් සමත් වූ අතර නිමා වූ 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඉතා හොඳ තරගයක් ලබා දෙමින් සිව්වැනි ස්ථානයේ තරගය නිමා කිරීමට ද සමත් විය.

එමෙන්ම කනිෂ්ඨ අංශයේ කාන්තා 400X4 ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩිකාවන් දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ රන් පදක්කම සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 400X4 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් විය.

මීට අමතරව මෙම සැලසුමට අයත් මීළඟ ඉසව්ව වූ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කළ පාරමී වසන්ති 2018 ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා මලල ක්‍රීඩා ශුරතාවයේ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලෝක යොවුන් මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට වරම් දිනා ගත් අතර පසුව එම වසරේම පැවති යොවුන්  ඔලිම්පික් උළෙලේ දී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙරටට මුල්ම යොවුන් ඔලිම්පික් පදක්කම දිනා දීමට සමත් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

කනිෂ්ඨ සහ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ඉහත ඉසව්වන් නියෝජනය කළ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර මෙම ලෝක මලල ක්‍රීඩා සංගමයෙන් හිමි වන මුදල් ඔවුන්ගේ දස්කම් වර්ධනය සඳහා යොදවනු ඇත.

මෙම මූල්‍ය ආධාරය මත සිදු කරන විශේෂ ව්‍යාපෘතිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22ගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කිරීමට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට එම නම් කරන ලද සංචිතය සඳහා 2018/ 2019 වසරවල දී දකුණු ආසියානු සහ ආසියානු කනිෂ්ඨ පිටියේ දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක පසිඳු කොඩිකාර, නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනා ගත් අරුණ දර්ශන සහ දිල්ෂි කුමාරසිංහ, ආසියානු යොවුන් පදක්කම්ලාභී නවිශ්ක සංදීෂ්, යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති සහ මීටර් 400 ජාතික ශූරී නදීෂා රාමනායක තෝරා පත්කර තිබුණි.

මෙම ව්‍යාපෘතිය 2022 ආසියානු ක්‍රීඩා උළෙල සහ 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කරගනිමින් සිදු කිරීමට නියමිතව ඇති අතර මෙම සංචිතය සඳහා ඇතුළත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මාසිකව ඩොලර් 75ක මුදලක් මාස 18ක කාලයක් පුරා ලබා දීමට තීරණය කර ඇත.

එනමුත් මීට පෙර අවස්ථාවක දී මෙරට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ඩොලර් 100,000ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ලෝක මලල ක්‍රීඩා සංගමය එකඟ වී තිබූ නමුත් එම ව්‍යාපෘතිය නිවැරදි ලෙස සිදු කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීම නිසාවෙන් මූලික අදියර ලෙස ඇමරිකානු ඩොලර් 25,000 ලබා දීමෙන් අනතුරුව එම අරමුදල් ලබා දීම නතර කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමයට තීරණය කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<