ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති රිස්ලි ඉලියාස් මහතා හා ඔහුගේ විධායක කමිටුව මීළඟ වසර දෙක සඳහා උපකමිටු නම් කර තිබෙනවා. ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු සුපිරි ක්‍රීඩක හා ප්‍රවීණ පුහුණුකරු නිහාල් ‘වයිපර්’ ගුණරත්න ශ්‍රී ලංකා රග්බි පුහුණුකරුවන්ගේ කමිටුවේ සභාපති ලෙස පත් කර ඇත්තේ දිවයින පුරා රග්බි පුහුණුකරුවන් අධීක්ෂණය කිරීමේ අරමුණිනුයි.
ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ වගකීම ද මෙම කමිටුවට හිමි වනු ඇති අතර පීටර් වුඩ්ස් 2018 දී ඉවත්ව යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තවමත් ස්ථිර පුහුණුකරුවෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ලෝක රග්බි 3 වැනි මට්ටමේ රග්බි පුහුණුකරුවෙක් වන ගුණරත්න මහතා වසර 40ක් පමණ දේශීය රග්බි පිටිය පෝෂණය කළ අයෙක්.
තවත් රග්බි පුවත්:
- CH පුහුණුකාරීත්වය හිටපු නායකයා අතට
- හැව්ලොක් සුක්කානම සෙනාල්ට
- CH වෙනසකට මුල පුරයි; කාන්තා නියෝජනයකට ඉඩප්‍රස්තාව
ශ්‍රී ලංකා රග්බි ආයතනය බලාපොරොත්තුව දිවයිනේ සියලුම රග්බි පුහුණුකරුවන්ගේ කුසලතා ගුණරත්න මහතා හා ඔහුගේ කමිටුවේ අධීක්ෂණය යටතේ වැඩි දියුණු කරවීමයි.
මේ අතර හිටපු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි ක්‍රීඩක රොහාන්ත පීරිස් හා CH&FC ප්‍රවීණ ක්‍රීඩක රවින්ද්‍රනාත් විජේනාතන් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභියාචනා කමිටුවට පත් කර තිබෙනවා.
පවතින තත්වය හමුවේ ඔක්තෝබර් මස අග භාගයේ පැවැත්වෙන ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙනවා. ගම්පහ දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා පොකුර නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සියලු මහජන රැස්වීම් තහනම් කර තිබෙනවා.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<