ශ්‍රී ලංකා ක්‍රිකට් බාලගිරි දෝෂය තවදුරටත්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2020

213

ඔක්තෝබර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග තුනකින් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නැවත වතාවක් දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් හට සිදුව ඇත. ඒ, තවමත් පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙනි.

කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු මෙම තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් පසුව එම තරගාවලිය ඔක්තෝබර් මස අවසානයේ දී පැවැත්වීම සඳහා දෙරටේ ක්‍රිකට් බලධාරීන් දැඩි උත්සහයක් දැරුවේය. 

නමුත් දින 14ක අනිවාර්ය නිරෝධායන කාලය, ඒ කාලය තුල ලැබෙන පහසුකම් මෙන්ම වියදම් වන මුදල් ප්‍රමාණය ඇතුළු කරනු කාරනා කිහිපයක්ම සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය ඔක්තෝබර් මාසය තුල දී ද නොපැවැත්වීම සඳහා දෙරටේම ක්‍රිකට් බලධාරීන් අවසන් තීරණයකට එළඹ ඇත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න;

“බංග්ලාදේශ තරගාවලිය යම් හෙයකින් කල් ගියහොත් මේ වසර තුල දී අපිට ඒ තරගාවලිය පවත්වන්න වෙන්නේ නැහැ. එහෙම වුනොත් අපිට ආයිත් මේ තරගාවලිය තියන්න වෙන්නේ 2021 දී හරි 2022 වසරේ දී හරි තමයි. අපි ඒ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයටත් දැනුම් දීලා තියෙන්නේ” යැයි පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ සසඳා බලන විට ඉතාමත් හොඳින් කොරෝනා වසංගත පාලනය කර තිබෙන මොහොතක, මෙරට තුළ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා ඉතාමත් සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේ.

නමුත් බංග්ලාදේශය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම තවමත් පාලනය වී නොමැති නිසාවෙන් ඔවුන් මෙරටට පැමිණි විට ඔවුන් සමඟ පුහුණුවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබා නොදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණි.

තවද වෙනත් රටක සිට ශ්‍රී ලංකාව තුලට ඇතුල්වන ඕනෑම කෙනෙකු මෙරට තුල දින 14ක අනිවාර්ය නිරෝධායන කාලයක් පනවා තිබෙන අතර එය වෙනස් කිරීම හෝ එය ලිහිල් කිරීම සඳහා මෙරට රජය ඇතුළු සෞඛ්‍ය සංවිධාන සහ ආරක්ෂක අංශ අකමැති වීම ද තරගාවලිය තවදුරටත් කල් යාම සඳහා හේතු සාධක විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<