ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක භවතා ලෙස 2017 වර්ෂයේ සිට මේ දක්වා කටයුතු කළ Vivo India දුරකථන සමාගම මෙවර තරග වාරය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීමෙන් වැළකීමට සිටීමට තීරණය කොට තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තරගාවලි සංවිධායක කමිටුව සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවන්ගෙන් අනතුරුවයි.
මෙවර IPL සඳහා තරග 60ක්; ක්‍රීඩාංගණ 3ක්!
ඉන්දු-චීන දේශ සීමා ආසන්නයේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් අනතුරුව දෙරට අතර පැවති රාජතාන්ත්‍රික මට්ටමේ සබඳතා ක්‍රමයෙන් බිඳ වැටීම ආරම්භ වූයේ ඉන්දියාව තුල චීන භාණ්ඩ සහ සේවා වර්ජනය කරන මෙන් චීන විරෝධී රැල්ලක් ජනතාව අතරින් නිර්මාණය වීම නිසාවෙනි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් IPL තරගාවලිය සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන් චීන දුරකථන සමාගමක් වන Vivo ආයතනය සමඟ පවතින ගිවිසුම්, සබඳතා සියල්ල අවසන් කරන මෙන් බොහෝ පාර්ශවයන්ගෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත බලපෑම් එල්ල විය.
කෙසේ නමුත් 2017 වසරේ සිට 2022 දක්වා පුරා වසර 5ක් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක භවතා ලෙස කටයුතු කිරීමට IPL සංවිධායක කමිටුවත් සමඟම ගිවිසුම් අත්සන් කළ Vivo ආයතනය මේ වන විට තම කොන්දේසි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දීය රුපියල් කෝටි 2,199ක් වටිනා පස් අවුරුදු ගිවිසුමට ප්‍රකාරව මෙවර තරග වාරය සඳහා මුදල් වෙන්කිරීමේ දී ගැටලුකාරී තත්වයන් ඇති විය හැකි බව Vivo සමාගම BCCI වෙත දන්වා ඇති අතර මෙවර ආයෝජනය කිරීමට නියමිතව තිබූ මුළු මුදලින් 30%ක් පමණ කපා හැරීමට එකඟ නොවෙන්නේ නම් වෙනත් විකල්පයක් සොයා ගැනීමට සිදු වනු ඇති බව ද දෙපාර්ශවය සමඟ පැවති සාකච්ඡා අතරතුර දී ඔවුන් සඳහන් කොට තිබේ.
IPL තරගාවලියට කැපී පෙනෙන වෙනසක්!
පවතින වෙළඳපොළ වතාවරණය සහ මහජනතාවගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙවැනි තීරණයක් කරා එළඹීමට තම ආයතනය පෙලඹුණ බව Vivo ආයතන ප්‍රධානීහූ වැඩිදුරටත් සඳහන්කොට සිටියහ. එම යෝජනාව සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දිය නොහැකි නිසාවෙන් 2020 තරග වාරය සඳහා වෙනත් ආයතනයක අනුග්‍රහකත්වය ලබා ගැනීමට තමන් සූදානමින් පසුවන බව ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය ද අවධාරණය කොට තිබුණි.
කෙසේ නමුත් දෙරට අතර හොඳ හිත නැවත වර්ධනය වී ඉදිරි කාලසීමාව තුල දී ගැටුම් සමථයකට පත්වුවහොත් Vivo සමාගම සමඟ කටයුතු කිරීමට පසුබට නොවන බව ද BCCI ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.
නව සංශෝධනයන්ට අනුව ඉදිරි වසර දෙක සඳහා වෙන් කෙරෙනු ලැබූ මුදල් ප්‍රමාණයේ වෙනසක් සිදු කිරීමට තවමත් අදහසක් නොමැති නිසාවෙන් සම්පූර්ණ ගිවිසුමට මෙහි බලපෑමක් එල්ල නොවන බව ද ඔවුහු පෙන්වා දී සිටියහ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<